ඉන්ධන සහ විදුලි බිල සම්බන්ධව ඇමතිගෙන් සතුටුදායක ආරංචියක්...

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Ceylon Electricity Board Sri Lanka Electricity Prices Kanchana Wijesekera
By Aruna Jul 04, 2023 11:20 PM GMT
Report

විවිධ පාර්ශව චෝදනා නැඟුවද පසුගිය ජුනි මාසයේ සිදු කළ විදුලි මිල සංශෝධනයේ දී සමස්ත විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 60 න් ලක්ෂ 35කට 55%ක විදුලි බිලට සහනයක් ලබාදීමට රජය කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කර සිටිනවා.

ඔහු මේ බව සඳහන් කළේ "ස්ථාවර රටකට සැවොම එක මඟකට" මැයෙන් ඊයේ (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්.

අඛණ්ඩ ඉන්ධන සැපයුම සඳහා ඛනිජ තෙල් සංස්ථාව ගිවිසුම් ගත වූ සමාගම් දෙකෙන්, එක් සමාගමක පළමු ඉන්ධන නැව මේ මස අවසානයේ මෙරටට පැමිණෙනු ඇති බවත් ඒ සමඟ නව සැපයුම් කරුවන්ගේ ඉන්ධන බෙදාහැරීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ වන බවත් ඔහු ප්‍රකාශ කළා.

මූල්‍ය අර්බුදයට ලක්ව තිබූ විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් සංස්ථාව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් මේ වන විට මූල්‍ය ස්ථාවරත්වයක් දක්වා වර්ධනය වෙමින් තිබෙන නිසා පසුගිය වසර වන විට අපේ රටේ තිබු ඉන්ධන පෝලිම් , විදුලි කප්පාදුව ආදිය අවසන් වී නව රජය යටතේ ගනු ලැබූ තීන්දු තීරණ හේතුවෙන් ඉන්ධන පෝලිම් නැති කිරීමටත්, අඛණ්ඩව විදුලිය සැපයීමටත් හැකි වු බව සදහන් කළා.

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුගත කිරීමෙ නව කෙටුම්පත මේ වන විට නීති සම්පාදක වෙත යොමු කර ඇති අතර එම කෙටුම්පත ලැබීමෙන් පසු එය නීතිපතිට යොමුකර නිර්දේශ විමසා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනතුරුව පාර්ලිමේන්තුවට යොමු කිරීමට බලාපොරොත්තු වෙන බවත් එහිදී නව පනත සම්මත කර ගැනීමට හැකියාව තිබෙන බවත් මෙහිදී විදුලිබල මණ්ඩලයේ සිටින සේවකයන්ට කිසිදු පීඩනයක් සිදු නොවන අතර දැනට සේවයේ නියුතු ස්ථිර නොවූ NVQ පාඨමාලා හදාරා ඇති සේවකයින් ස්ථිර කිරීමත් එහිදී සිදු කරන්න බලාපොරොත්තු වෙන බවත් ඔහු කියා සිටියා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බොරතෙල් ආනයන කටයුතු පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිටම සිදු සිදුකරමින් තිබු බවත්, ඉන්ධන අඛණ්ඩව සැපයීම සඳහා නව ආයතන දෙකක් සංස්ථාව සමඟ ගිවිසුම්ගත වී සිටින අතර එම සැපයුම් කටයුතු මෙම මාසය අවසන් වන විට ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඔවුන්ගේ පළමු වන ඉන්ධන නැව ජුලි මස අවසානයේදී ලංකාවට පැමිණීමට නියමිත බවද සදහන් කළා.

එසේම පසුගිය කාලයේ දී පුනර්ජනනීය බලශක්තිය සඳහා ටෙන්ඩර් කැඳවා තිබූ ආයෝජකයන් මේ වන විටත් නොපැමිණ සමහර ටෙන්ඩර ලබාගත් ආයතන තවත් ආයතනවලට එම ටෙන්ඩරය විකුණා තිබෙන නිසා පුනර්ජනනීය බලශක්තියට මෙගාවොට් 500ක් සඳහා ටෙන්ඩර් කැඳවීම ඉදිරි කැබිනට් මණ්ඩලයේ දී අහෝසි කර, නව ටෙන්ඩර් කැඳවීමක් ඇති කිරීමටත්, ‘අදානී‘ සමාගමට පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් මෙගාවොට් 500ක බලාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය අවසරය ලබා දීමට කටයුතු කර ඇති අතර ඔවුන්ගේ ජනන කටයුතු ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

ඛනිජ තෙල් සංස්ථාව සහ විදුලි විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එම ආයතනවල සේවක ප්‍රජාවගෙන් බහුතරයක් කැමැත්ත පළ කර තිබෙන අතර වෘත්තීය සමිති නායකයන්ට ලැබෙන වරප්‍රසාද නොලැබී යාමේ බිය නිසාම ඔවුන් මෙම ක්‍රියාවලියට විරෝධය පළ කරත් එය සිදු කරන බව සදහන් කළා.

න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳවත් අවධානය යොමු කර අතර එය 2023 - 2042 ජනන සැලසුමට ඇතුළත් කිරීමට සැලසුම් කර ඉන් ලැබෙන ප්‍රතිඵලය අනුව න්‍යෂ්ටික බලශක්තිය අපේ රටට ලැබිය යුත්තේ කවදාද යන්න තීරණයක් ගෙන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.