වෙඩි ප්‍රහාරයට ලක්වූ හිටපු ජපන් අගමැති ජීවිතක්ෂයට

By Sewvandhi Jul 08, 2022 08:59 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අද උදෑසන වෙඩි තැබීමකින් මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ වෙඩි ප්‍රහාරය එල්ලකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ජපානයේ සමුද්‍රාරක්ෂක බලකායේ සාමාජිකයෙකු ව සිට විශ්‍රාම ලත් 41 හැවිරිදි පුද්ගලයෙකි. වැඩිදුර විමර්ශනවලදී සැකකරු පවසා ඇත්තේ, ෂින්සෝ අබේගේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පවතින අතෘප්තිමත්භාවය හේතුවෙන් මෙසේ ඔහු ඝාතනය කිරීමට උත්සාහ කළ බවය.

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මේ වෙඩි ප්‍රහාරයට ලක්වුණේ නාරා හි වීථියක දේශනයක් පවත්වමින් සිටියදීය. 67 හැවිරිදි ෂින්සෝ අබේ වෙත පිටුපස සිට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර තිබුණි. ඉන් එක් වෙඩිල්ලක් වැදී තිබුණේ ඔහුගේ පිට ප්‍රදේශයටය.

  අනතුරුව හිටපු අගමැතිවරයා ඇදවැටී ඇති අතර ඔහු ඉන් පසු කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බව ජපන් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ලේ වගුරුවමින් සිහිසුන්ව සිටි අගමැතිවරයා කඩිනමින් රෝහල්ගත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණේ හෙලිකොප්ටර් යානයක් යොදාගනිමිනි.

මේ අතර ඇතැම් ජපන් වාර්තාවල දැක්වුණේ අගමැතිවරයාගේ හෘද ස්පන්දනය නැවතී ඇති බවය. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ වෙඩි ප්‍රහාරය එල්ල කළ පසු සැකකරු පලායාමට තැත්කර නොමැති බවය.

මේ අතර අද උදෑසන මෙම සිද්ධිය වාර්තාවීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ශෝක පණිවිඩයක් නිකුත් කර තිබුණා.

Gallery