රට පුරාම ආහාර බැංකු හා ආහාර හුවමාරු මධ්‍යස්ථාන - අලුත්ම වැඩක්
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය වර්ධනය කිරීමට ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආහාර බැංකු හා ආහාර හුවමාරු මධ්‍යස්ථාන පිහිටුවීමට තීරණය කර තිබෙනවා.
ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කිරීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) පැවැත්වුණු අතර එහිදී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඒ අනුව ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ප්‍රමුඛව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් දිවයිනේ ග්‍රාම සේවා වසම් 14,022ම ආවරණය වන පරිදි වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ආහාර හුවමාරු මධ්‍යස්ථාන මඟින් ප්‍රදේශවාසීන්ගේ අතිරික්ත ආහාර, ප්‍රදේශයේ පිහිටුවා ඇති ආහාර බැංකුවලට ලබාගෙන එම ආහාර ප්‍රදේශයේ ආහාර ඌනතාවක් ඇති පවුල්වලට බෙදා දීම සිදු කෙරෙනවා.
එමෙන්ම මෙම ආහාර හුවමාරු මධ්‍යස්ථාන හරහා තම අතිරික්ත ආහාර තවත් ප්‍රදේශවාසීන්ගේ අතිරික්ත ආහාර සමග හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසෙන අතර එමගින් ආහාර අපතේ යාම ද වළක්වා ගැනීමට අදහස් කිරීමද විශේෂත්වයක්.
තම ප්‍රදේශවල සිටින ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලාට සහ සෙසු ආගමික නායකයින්ට ඇති බැවින් මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ගෞරවනීය මහා සංඝරත්නයේ සහ සෙසු පූජක ප්‍රසාදීන් වහන්සේලාගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා වී තිබෙනවා.
දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් හා සැලසුම් අධ්‍යක්ෂවරු මෙම සාකච්ඡාවට එක් වූ අතර දැනට නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් සහ විධිවිධානවලට අමතරව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති නව චක්‍රලේඛය අනුව ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සහ ඒවායේ සංවර්ධන සැලැස්ම සකස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්.
ව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |