සුරූපී පෙම්වතියට ගිනිතැබූ තරුණයාත් පෙම්වතිය බඳාගෙනම මිය ගිය හැටි..ගින්න මැදදි සිදු වූ දේ..සියල්ල හෙළිවෙයි.(PHOTOS)
ප්‍රේමයේ සුන්දරත්වයෙන් වසඟ වී ප්‍රේමය වෙනුවෙන් ජීවිතය දුන් පෙම්වතුන් මෙන්ම ප්‍රේමයේ පූජාව බිඳුණු දා වෛරය ආගම කරගත් පෙම්වතුන් ගැන ද ඕනෑතරම් කතා අප සමාජයේ වේ.
ඉකුත් දා මහනුවර කටුගස්තොට ප්‍රදේශයෙන් අසන්නට ලැබුණේ ද එවැනි අනුවේදනීය කතාවකි.
මැණික්කුඹුර වත්ත පිහිටා තිබෙන්නේ කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයට යාබදවය.
එහි කුඩා නිවෙසක මව හා පියා සමඟ ජීවත් වූ මේනකා එක්වරක් බැලූවෙකුට දෙවරක් බලන්නට සිතෙන තරමේ රුවකට හිමිකම් කී තරුණියකි.
ගලහ ප්‍රදේශයේ උපන් ත්‍යාගරාජා (බාබු) කටුගස්තොටට මුලින්ම පැමිණ ඇත්තේ එළවළු වෙළෙඳ සැලක සේවය කිරීමටය.
ඒ, මීට අවුරුදු ගණනාවකට පෙරය.
පසුව ඔහු විවිධ රැකියා සිදුකර තිබේ.
අවසන් වරට සේවය කර ඇත්තේ රන් භාණ්ඩ නිෂ්පාදනය කරන ස්ථානයකය.
බාබු හා මේනකා අතර ප්‍රේමසම්බන්ධයක් පටන් ගෙන තිබුණේ මෙයට වසර 12 කට පමණ පෙරය.
දෙදෙනා අතර දලු ලා වැඩුණු ආදරය වෛරයක් බවට පත්ව ගිනි දලුවලින් දැවීගියේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදිය.
මේ සියල්ලට හේතුවී තිබුණේ බාබුගේ ආදරයට මේනකා පිටුපෑමය.
මවුපියන්ගේ කැමැත්ත මත වෙනත් තරුණයකු හා විවාහ වීමට ඇය ගත් තීරණය දරාගත නොහැකි වූ බාබු මෙලො හැරගියේ මේනකාගේ පමණක් නොව ඇගේ පියාගේ ජීවිතය ද උදුරා ගනිමිනි.
පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති පරිදි බාබු නමැති තරුණයා පෙට්ට්‍රල් හෝ ඊට සමාන දියර පිරවූ කෑන් එකක් රැගෙන මේනකාගේ නිවෙසට පැමිණ ඇත්තේ ඉකුත් 24 දා පෙරවරු 6.00 ට පමණය.
එම අවස්ථාවේ නිවෙසේ සිට ඇත්තේ මේනකා, ඇගේ පියා වන ඊශ්වරන් දේවන් (71) හා මව වන රාණි ආම්මා (65) පමණි.
දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීම දුරදිග යත්ම බාබු කිසිවකු නොසිතූ පරිදි ඔහුගේ සිතේ වූ කෝපයත් වෛරයත් මුදා හැරියේ තමන්ගේ අතේ වූ කෑන් එකේ තිබූ දියරය මේනකාගේ ඇඟට දමා ගිනි තැබීමෙනි.
ඒ සැණින් නිවෙස පුරා ගින්න පැතිර ගොස් තිබුණේ කිසිවකුට හෝ කිට්ටු වීමට නොහැකි තරමට ගින්න ප්රචණ්ඩ කරමිනි.
ගින්නට හසුවූ මේනකාගේ මව රාණි අම්මාගේ විලාපය සවන් වැකුණු නිවෙස අසල පදිංචි තරුණයන් කිහිපදෙනකු ගොස් නිවෙසේ වසා තිබෙන දොරට පොලුවලින් පහරදී එය විවෘත කළහ.
එහෙත් ඒ වන විටත් බොහෝ දේ සියල්ල සිදුවී අවසන් වී තිබිණ.
ඒ අවාසනාවන්ත මොහොත සියැසින් දුටු අසල්වැසියකු වන රිස්වාන් ජමාල්ඩීන් (45) ඒ ගැන මෙසේ කීවේය. “මමත් පදිංචි වෙලා ඉන්නේ මැණික්කුඹුර වත්තේ.
උදේ 7.00 ට විතර ඊශ්වරන් මාමාගේ ගේ ගිනි ගන්නවා දැක්කා. රාණි අම්මා කෑ ගහන ශබ්දයකුත් ඇසුණා.
ගෙදර දොර වහලා තිබුණේ.
දොරට ගහලා කඩනාවත් එක්කම ගින්න එළියට ආවා.
රාණි අම්මා ගිනි දලු අතරින් බඩගාගෙන දොර ළඟට ආවා. එයා හොඳටම පිච්චිලා හිටියේ.
අපි එයාව එළියට ඇදලා ගත්තා. දුව බේරාගන්න කියලා රාණි අම්මා කෑගැහුවා.
අරුත් ඇවිල්ලා ඉන්නේ කියලා එයා කිව්වා. අපිට ගේ ළඟට යන්න විදිහක් තිබුණේ නැහැ. ගේ හොඳටම ඇවිළෙමින් තිබුණේ.
ඒත් එක්ක නිවසේ තිබූ ගෑස් සිලින්ඩර දෙකෙනුත් ගිනි පිට වෙන්න පටන් ගත්තා.
ඒකෙන් ගින්න තවත් වැඩි වුණා.” සැමියා හා දියණිය බේරා ගන්නා ලෙස රාණි අම්මා කෑගැසුවත් කිසිවෙකුට හෝ ඒ අසලට යාමට නොහැකි ලෙස ගින්න මුළු නිවෙසම වසාගෙන තිබිණි.
මේ නිසා සියලු දෙනාට සිදුවූයේ මහනුවර ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට එනතුරු බලා සිටීමටය.
ගින්න ඇතිවී විනාඩි 20 ක පමණ කාලයකදී එම ස්ථානයට ළඟා වූ ගිනි නිවන භටයන් ගින්න නිවා දැමුවත් නිවෙසේ සිටි තිදෙනාගේ ජීවිත බේරා ගැනීමට හැකියාවක් නොලැබිණි.
නිවෙස තුළ වූ සිදුවීම දන්නේ රාණි අම්මා පමණි. ඇය මේවන විට බරපතළ තත්ත්වයෙන් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය.
“දුව යාළු වෙලා ඉන්න කොල්ලා කලින් දවසේ ගෙදරට ආවා.
දුවට වෙන කසාදයක් කරගන්න දෙන්නේ නැහැ කිව්වා.
එයා අකමැති නම් ඇයි බලකරන්නේ කියලා අපි කිව්වම හරි මම බලාගන්නම් කියලා එයා ගියා.
පහුවදා උදේ පාන්දරම ගෙදර පිටිපස්සේ දොරෙන් එයා ගේ ඇතුළට ආවා.
අතේ කෑන් එකක් තිබ්බා. ඒකේ තිබ්බ මොනවාදෝ දුවගේ ඇඟට දානවත් එක්කම ගිනි ගත්තා..”
රාණි අම්මා පොලිසීයට පවසා තිබුණේ එසේය. පොලිස් පරීක්ෂණ මඟින් මේවන විට අනාවරණය වී තිබෙන කරුණු විස්තර කරමින් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතා මෙසේ කීවේය.
“මේක ප්‍රේම සම්බන්ධයක් බිඳී යාම නිසා ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් සිදුවූවක් බවට මේවන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
අවුරුදු 12 ක පමණ කාලයක් මේ තරුණිය හා තරුණයා අතර ආදර සම්බන්ධයක් තිබී ඇති බව හෙළි වුණා.
මෑතක සිට මේ සම්බන්ධයට තරුණිය එතරම් කැමැත්තක් දක්වා නැහැ.
මේ නිසා දෙදෙනා අතර නිතර ආරවුල් ඇතිව තිබෙනවා. සිද්ධිය වූ දින ත්‍යාගරාජා කෑන් එකක් අරගෙන නිවසට පැමිණ තිබෙනවා.
ඉන් පසුව තමයි ගිනි ගැනීම සිදුව තිබෙන්නේ.
මොහු මුලින් තරුණියට ගිනි තබන්නට ඇති බවට මූලික පරීක්ෂණ මඟින් හෙළිවී තිබෙනවා.
රස පරීක්ෂණ වාර්තාව ලබා ගැනීමෙන් පසු තමයි ගිනි තැබීමට උපයෝගි කරගෙන තිබෙන දියරය කුමක්ද යන්නත් ඊට සම්බන්ධ වෙනත් තොරතුරුත් පිළිබඳ ස්ථිර යමක් ප්‍රකාශ කළ හැකි වන්නේ.”
මේනකාගේ පියා වන ඊශ්වරන් දේවන් කටුගස්තොට රණවන පාරේ කුඩා සුරුට්ටු කඩයක් පවත්වාගෙන ගිය අයෙකි.
බුලත් විටත් සිගරට් හා සුරුට්ටුත් අලෙවියෙන් ඔහු දිනකට හොඳ අදායමක් ලබන බව ප්රදේශවාසිහු පවසති.
මේනකා ද බොහෝ අවස්ථාවල කඩයේ සිටින්නේ පියාගේ සහායටය.
පිට්ටු හා ඉදිආප්ප නිවසේ සකස්කර කඩවලට දමා යම් මුදලක් උපයා ගැනීමට මේනකාගේ මව හා පියා කටයුතු කර තිබුණේ බොහෝ කලක සිටය.
කොවිඩ් තත්ත්වත් සමඟ එම කටයුත්ත පෙරපරිදි සිදු කිරීමේ අපහසුව නිසා ඊෂ්වරන් දේවන් දිවා කාලය සම්පූර්ණයෙන්ම ගත කළේ පෙට්ටි කඩයේය.
මියගිය මේනකාගේ මිතුරියක වන එස්. සෆ්නා සිය මිතුරිය ගැන සිහිකළේ සංවේගයෙනි.
“මේනකා මගේ හොඳ යාළුවෙක්. ගමේ හැම දෙනා එක්කම එයා හොඳින් හිටියා. කිසිම දවසක රණ්ඩුවකට ගිහින් නැහැ.
එයාගේ තාත්තා රණවන පාරේ පොඩි බුලත් කඩයක් දාගෙන ඉන්නවා.
තාත්තට උදව්කරගෙන මේනකත් එතන තමයි ඉන්නේ. එයාට සිද්ධ වුණු දේ ගැන අපට අදහාගන්නත් බැහැ...
” මේනකාගේ ආදර සම්බන්ධයට මව, පියා ඇතුළු පවුලේ උදවිය වැඩි කැමැත්තක් නොදැක්වූහ. ඔවුන් නිතර පවසා තිබෙන්නේ ත්‍යාග රාජා සමඟ පවතින සම්බන්ධය නතර කරන ලෙසයි.
මේ අතර මව හා පියා මේනකා වෙනත් අයෙකුට විවාහ කර දීමටද සැලසුම් කර ඇත.
ස්ථිර රැකියාවක් නොමැති ත්‍යාග රාජා ස්වරණාභරණ අලෙවි සැලක සේවය කරමින් සිටියදී සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මාස හයක පමණ කාලයක් බන්ධනාගාර ගතව සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබිණ.
එම කාලය තුළ මේනකා බොහෝ සෙයින් වෙනස්වී තිබෙන බව වැටහුණු ත්‍යාග රාජා මේනකාට නිතර පැවසුවේ තමන් අමතක නොකරන ලෙසයි.
වසර 12 ක් පුරා මේනකාට ආදරය කළ ත්‍යාග රාජා, තමන් හරිහම්බ කළ දෙයින් වැඩි හරියක් වියදම් කර තිබුණේද පෙම්වතිය වෙනුවෙනි.
දිගින් දිගටම ප්‍රතික්ෂේප කරත්දීත් මේනකා පසුපස පැමිණි ත්‍යාග රාජාට මෙයට සති දෙකකට පමණ ඉහතදී කටුගස්තොට රණවන මංසන්ධියේදී මේනකාගේ සහෝදරයෙකු පහරදී ඇත්තේ සිය නැඟණියට හිරිහැර නොකරන ලෙස පවසමිනි.
මියගිය මේනකාගේ සොහොයුරා වන එම්. අයි. කමල් සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ පැවසුවේය.
“මම පදිංචිවෙලා ඉන්නේ නුගවෙල. උදේ මම ළමයි පාසලට අරන් යන අතරේ යාළුවෙක් කතා කරල කිව්වා ලොකු කරදරයක් වෙලා ඉක්මනට මැණික්කුඹුරේ ගෙදරට එන්න කියල. මම ගෙදර යනකොට මුළු ගේම පිච්චිලා ඉවරයි.
මට හිතාගන්න බැහැ සිද්ධවෙලා දේ...” ගිනිගෙන දැවුණු නිවෙසේ රුපියල් ලක්ෂ ගණනක මුදලක් තිබී ඇත.
දැවී ඉතිරිවූ රුපියල් 20,50,100,500 සහ 1000 නෝට්ටු පොලීසිය විසින් පොහොර උර හතරකට එකතු කරනු ලැබීය.
තවත් මුදල් නෝට්ටු ගණනාවක් සම්පූර්ණයෙන්ම පිලිස්සී තිබිණි.
දැන ගන්නට තිබෙන පරිදි ඒ මුදල් මේනකාගේ විවාහය වෙනුවෙන් ඊශ්වරන් දේවන් හා රාණි අම්මා එකතු කරනු ලැබූ ඒවාය.
බැංකුවේ තැන්පත් කිරීමට වඩා ඊෂ්වරන් දේවන් වැඩි කැමැත්තක් දක්වා තිබෙන්නේ මුදල් ළඟ තබා ගැනීමට බව ඔහුගේ හිතමිතුරෝ පවසති.
ගින්නෙන් ඔවුන් තිදෙනාගේ මළ සිරුරු සම්පූර්ණයෙන්ම පිලිස්සී තිබිණි.
කුඩා කාමරයේ ඊශ්වරන් දේවන් ගේ සිරුර තිබියදී ඊට නුදුරින් මේනකාගේ සහ ත්‍යාග රාජගේ සිරුර තිබුණේ එකිනෙකා බදාගෙන සිටින ස්වරූපයෙනි.
සිරුරට ගිනි තබා ගැනීමෙන් පසු ත්‍යාගරාජා මේනකාව වැලඳ ගත්තාද යන සැකය මළ සිරුරු තිබෙන ස්වරූපය අනුව සැකයක් උපදියි.
පොලීසිය ද අනුමාන කරන්නේ සිරුරට ගිනි තබා ගැනීමෙන් පසු ත්‍යාගරාජා මේනකා වැලඳ ගන්නට ඇති බවයි.
නිවෙසට ඇතුළු වී ඔහු දොරවල් වසා දමන්නට ඇති බවට ද පොලීසිය සැකකරයි.
කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් ගේ උපදෙස් පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක කුලසේන ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
උපුටා ගැනීම: සිළුමිණ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


