දඩ මුදලක් නොසිතූ ලෙස අධික ගණනකින් වැඩි කිරීමට සැරසේ..

Sri Lanka Police Election Commission of Sri Lanka Bribery Commission Sri Lanka Sri Lanka Presidential Election 2024
By Sewvandhi Jul 21, 2024 01:01 PM GMT
Report

ඡන්දයකදී අල්ලස් දීමේ වරදක් සම්බන්ධයෙන් පනවනු ලබන රුපියල් 500 ක දඩ මුදල, රුපියල් මිලියනයක් දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබේ.

ඒ, අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමේ පනත් කෙටුම් පතෙනි. අදාළ කෙටුම්පත, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ අත්සනින් ගැසට් කර තිබේ.

ඒ අනුව ඡන්දයකදී සංග්‍රහ කිරීමෙන් අල්ලස් දීමේ වරදකට අය කළ රුපියල් 200 ක දඩය ඉහළ නංවන්නේ, රුපියල් හත් ලක්ෂ පනස්දහසක් දක්වායි.

ඡන්ද විමසීමකදී අයුතු බලපෑම් කිරීම සඳහා මෙතෙක් අය කළ රුපියල් 500 ක දඩය රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ නැංවෙනු ඇත. ඡන්දයකදී වෙනත් අයෙකුගේ නමින් පෙනී සිටීමේ වරදට මෙතෙක් අය කළ දඩය, රුපියල් 300 ක්.

එය ඉහළ නැංවීමට යෝජනා කර ඇත්තේ, රුපියල් ලක්ෂයක් දක්වායි. ඡන්ද විමසීමක ගණන් හිලව් තැබීම පැහැර හැරීම වෙනුවෙන් අය කළ රුපියල් 300 ක දඩය, රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.

ඊට අමතරව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ගැනෙන වැරදි රැසක් සම්බන්ධයෙන් මෙතෙක් පනවා ඇති දඩ මුදල් ඉහළ නැංවීමට, අදාළ කෙටුම්පතෙන් යෝජිතයි.