ලංකාවේ ෆෙටෝ ත්‍රස්තයින් ගැන තුර්කියෙන් විශේෂ ප්‍රකාශයක්..!

Sri Lanka Turkey
By Sewvandhi Jul 15, 2023 04:13 PM GMT
Report

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිනි ඩෙමෙට් ශෙකර්ජිඕලූ මහත්මිය ප්‍රකාශ කළේ, තුර්කිය කේන්ද්‍ර කරගනිමින් මෙරට තුළ ක්‍රියාත්මක වූ "ෆෙටෝ" ත්‍රස්ත සංවිධානය තුර්කි - ශ්‍රී ලංකා ඒකාබද්ධ මෙහෙයුමකින් මුලිනුපුටා දැමූ බවයි.

"ෆෙටෝ" ත්‍රස්ත සංවිධානය සම්බන්ධයෙන් ඉදිරියටත් දෙරට අතර බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමට කටයුතු කරන බවයි, කොළඹ තුර්කි තානාපති කාර්යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් තානාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළේ.

එනම්, 2016 ජුලි 15 වනදා තුර්කියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය බිඳහෙළීමට ප්‍රයත්න දැරූ "ෆෙටෝ" ත්‍රස්ත සංවිධානයේ කැරැල්ල මැඩපැවැත්වීමට තුර්කි ජනපති රෙසෙප් තායිප් එර්දෝවාන්ගේ රජය සමත් වුණි.

මෙහිදී ඇතිවූ  ප්‍රචණ්ඩකාරි වාතාවරණය හමුවේ පුද්ගලයින් 251 දෙනෙකුට ජීවිත අහිමිවූ අතර තවත් දහස් ගණනක් තුවාල ලැබීය. ඒ අනුව, ජුලි 15 වනදා එම කැරැල්ල මර්දනය කළ තුර්කිය ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ජාතික එකමුතුභාවයේ දිනය ලෙස සමරන අතර ඒ වෙනුවෙන් උත්සවයක් මෙරට තුර්කි තානාපති කාර්යාලයේදී ද පැවැත්වුණි.

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිනි ඩෙමෙට් ශෙකර්ජිඕලූ ප්‍රකාශ කළේ, 

"අප වටහාගත් පරිදි ත්‍රස්තවාදය නව ක්‍රමවේදයන් අනුගමනය කරමින් ලොව පුරා රටවල් විනාශකිරීමට සහ අස්ථාවර කිරීමට විවිධ මාර්ග භාවිත කරමින් ගෝලීය වශයෙන් අඛණ්ඩව පරිණාමය වෙමින් පවතිනවා.

"ෆෙටෝ" ත්‍රස්ත සංවිධානයේ කොටස් ශ්‍රී ලංකාවේද ක්‍රියාත්මකව පැවති අතර එම ත්‍රස්ත සංවිධානයේ මූල බීජ තුර්කිය සහ ශ්‍රී ලංකාව සිදුකළ ඒකාබද්ධ ප්‍රයත්නයෙන් මුලිනුපුටා දැමීමට හැකිවූ බව මම කියන්න කැමැතියි.

ඒ වගේම මෙම ගෝලීය ත්‍රස්තවාදී උවදුරට එරෙහිව බලවත් හා සුපරික්ෂාකාරී පුළුල් ප්‍රතිචාරයක් ගොඩනැංවීම සඳහා එම ත්‍රස්ත සංවිධානය සම්බන්ධයෙන් අවධානයෙන් සිටිමින් ඉදිරියේදී ශ්‍රී ලංකා බලධාරීන් සමග බුද්ධි තොරතුරු අඛණ්ඩව හුවමාරු කරගැනීමට කටයුතු කරනවා."