හැමදේම වෙන්නේ හොඳටයි කිවුවට දැකලා නැහැ නේද?

By Wayomi Sep 22, 2022 10:27 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්.මොන වෙලාවේ අපේ ජීවිතේ මොන අතට පෙරලෙයිද කියලා අපි දන්නේ නෑ හැබැයි ඒ නිසා වෙනස් වීම් වලට බය වෙන්න එපා..දුක් වෙන්න එපා. හැමදේම වෙන්නේ හොඳටයි කියනවනේ. ඉතින් මේ ඒකට හොඳම උදාහරණයක්. සමහරවිට ඔබටත් මෙවැනි අත්දැකීම් තියෙන්න පුළුවන්. ඒ නිසා කිසිම වේලාවක වෙනස්වීම වලට බිය නොවන්න.

ඔන්න දවසක් එක්තරා රජ කෙනෙකුයි එයාගේ පුරෝහිතයයි කැළේ දඩයමේ ගියාලු. මෙහෙම ටික දුරක් යනකොට කැළේ හිටපු මුවෙක් දැකලා රජ්ජුරුවො දුන්න අරගෙන හොඳට ඉලක්කය බලලා මුවාට ඊතළයක් විද්දලු. කවදාවත් ඉලක්කයක් වැරදිලා නැති උනත් එදා රජතුමාගේ ඉලක්කය වැරදුණාලු. මුවා පැනලා ගියාලු.රජතුමාට මාර අප්සෙට් එකලු.

"කවදාවත් නැතුව ඇයි මට මෙහෙම උනේ." කියලා දුකෙන් වගේ පුරෝහිතයගෙන් ඇහුවලු.

"රජතුමණී හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතාගන්න." කියලා පුරෝහිතයා කිව්වලු.

මේ සිද්ධියෙන් පස්සේ දෙන්නා තව ටිකක් කැළේ ඈතට ඇවිදගෙන ගියාලු. ටික දුරක් ගිහිල්ලා තැනක විවේක ගන්න අතරතුර මොකක්දෝ කපන්න හදනකොට රජ්ජුරුවන්ගේම කඩුවෙන් රජ්ජුරුවන්ගේම ඇඟිල්ල කැපිලා ඇඟිල්ලේ පුරුකක් වෙන්වෙලා ගියාලු.

"අද දවස හරි නෑ. ඇයි මටම මෙහෙම දේවල් වෙන්නේ පුරෝහිත." කියලා රජතුමා වේදනාවෙන් පුරෝහිතගෙන් ඇහුවලු.

"රජතුමණී. ඇඟිල්ල කැපෙන්න ඇත්තෙත් ඔබතුමාගේ හොඳටම වෙන්න ඇති." කියලා පුරෝහිතයා උත්තර දුන්නලු.

 මේක අහපු රජතුමාට නහුතෙට තද උනාලු. මෙච්චර දෙයක් වෙලත් මූට කිසි ගානක් නෑ. හිටපිය තොට කියලා එතැනම කැළේ තිබුණු ලොකු වළකට පුරෝහිතයව තල්ලු කරලා රජතුමා යන්න ගිය පාරත් වෙනස් කරලා වෙන පාරක යන්න ගියාලු.

ඔහොම යන අතර කැළේ හිටපු ගෝත්‍රික කණ්ඩායමකට මේ රජතුමාව අහුවුනාලු. ඒ ගෝත්‍රික කණ්ඩායමත් බිලි පූජාවක් තියන්න මිනිස් බිල්ලක් හොයාගෙන යන අතර තමයි මේ රජාව එයාලට අහුවෙන්නේ. ඉතිං මේ ගෝත්‍රිකයෝ අර රජාව තමන්ගේ වාස භූමියට අරගෙන ගිහිල්ලා රජාව හොඳට නාවලා.. ඔන්න දැන් බිලි පූජාවට පෙරහරෙන් ගෙනිච්චාලු.

කරන්න තියෙන වතාවත් හැම එකක්ම කරලා බිලි පූජාව දෙන්න හදනකොටම මෙයාලගේ එක්කෙනෙක් රජාගේ එක ඇඟිල්ලක කෑල්ලක් නැති බව දකිනවලු. ගෝත්‍රිකයින්ගේ මේ බිලි පූජාවට ඕන කරන්නේ අංග සම්පූර්ණ මිනිස් බිල්ලක් නිසාත් රජාගේ ඇඟිල්ලේ කෑල්ලක් නැති නිසාත් එහෙම කෙනෙක් බිල්ලට හරි යන්නේ නැති නිසාත් ගෝත්‍රිකයෝ රජාව නිදහස් කරලා ආපහු යන්න දුන්නලු.

රජතුමා ඉක්මණින් පැනගෙන ආපහු එන අතර කල්පනා කළා ලු. මම පුරෝහිතයා කියපු දේ ගානකට ගත්තේ නෑ..හැම දෙයක්ම වෙන්නේ හොඳට කියලා පුරෝහිත‍යා මට කිව්වානේ. ඒක ඇත්ත උනා. අද මගේ ජීවිතේ බේරුනේ ඇත්තටම ඇඟිල්ලේ කෑල්ලක් කැපිච්ච හින්දානේ. මම පුරෝහිතව වළට දාලා කළේ ලොකු අපරාධයක්. මෙහෙම හිතපු රජතුමා ආපහු එන ගමන් බොහොම වෙහෙස මහන්සියෙන් අර වළ හොයාගෙන ගිහිල්ලා අමාරුවෙන් පුරෝහිතයව වලෙන් ගොඩට අරගත්තලු.

 "පුරෝහිත මට සමාවෙන්න. මම ලොකු වැරැද්දක් ඔබට කලේ." කියලා රජාට වෙච්ච අකරතැබ්බ පුරෝහිතට කිව්වලු.

 මේ කතාව අහගෙන හිටපු පුරෝහිතයා

"රජතුමණි. ඔබතුමා මාව වළට දාලා, ඔබතුමා මට කලේ ලොකු උදව්වක්. ඔබතුමා මගේ ජීවිතය බේරුවට මම ඔබතුමාට සදා ණයගැති වෙනවා..මොකද ඔබතුමාත් එක්ක මමත් ගියානම්. සම්පූර්ණ මනුස්සයෙක් හොයන ගෝත්‍රිකයින්ගේ බිලි පූජාවට බිලිවෙන්නේ ඔබතුමා නෙවෙයි මේ මමයි. ඉතින් ඒක නිසා මේ හැමදේම වෙන්නේ හොඳට කියලා අපි දෙන්නම හිත හදාගමු. වෙන කරන්න දෙයක් නෑ.." 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW