“ශිරන්ති පක්ෂ සාමාජිකාවක් නොවුණත්…” - පොහොට්ටුවෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකාවක් නොවුණද, එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගෞරවයට පාත්‍ර වන තැනැත්තියක් බව එහි මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ අද (08) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
අධිකරණය හමුවේ විභාග වන නඩු කටයුතුවලට මැදිහත් වීමට තමන් අදහස් නොකරන බවද සාගර කාරියවසම් මහතා පැවසීය.
කෙසේ වෙතත්, ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, පසුගිය මාසයේ 24 වැනිදා පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබූ අවස්ථාවේදී ඇය වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතව සිටි බවයි.
විදේශගතව සිටින අවස්ථාවේදී සති දෙකකින් යළි මෙරටට පැමිණෙන බවත්, පැමිණීමෙන් අනතුරුව දිනයක් ලබාදෙන ලෙසත්, එම දිනයේදී පොලිසියට පැමිණ විමර්ශන සඳහා සහාය ලබාදීමට සූදානම් බවත් ඇය දැනුම් දී තිබූ බවද ඔහු සඳහන් කළේය.
එසේ තිබියදී, ඇය මෙරටට පැමිණීමෙන් පසු දිනයක් ලබාදීමකින් තොරව කිසිදු දැනුම්දීමකින් තොරව නිවසට පැමිණ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සාගර කාරියවසම් මහතා ප්‍රශ්න කළේය.
මෙම සිද්ධිය ‘සිරිලිය සවිය’ සමාජ සත්කාරක සංවිධානය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළ බවද ඔහු පැවසීය.
‘සිරිලිය සවිය’ සංවිධානය 1986 අංක 08 දරන පනත යටතේ 2006 වසරේදී ලියාපදිංචි කළ සමාජ සේවා සංවිධානයක් බවද ඔහු සඳහන් කළේය.
එම සංවිධානය හරහා කාන්තාවන් සහ කුඩා දරුවන් වෙනුවෙන් අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල මෙන්ම කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන්ද විවිධ සහන ලබාදී ඇති බව සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.