සල්ලි හසුරුවන හැටි පාසලේදීම.. 6 - 9 ශ්‍රේණි දරුවන්ට නව විෂයයක්

Harini Amarasuriya Education Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 05, 2026 10:55 AM GMT
Report

රජය විසින් ගනු ලැබූ සාධනීය ක්‍රියාමාර්ග හේතුවෙන් මෙරට මූල්‍ය සාක්ෂරතාව 35% සිට 58% දක්වා ඉහළ නැංවීමට හැකි වී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අද (05) ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පැවති කොළඹ කොටස් හුවමාරුවේ 40 වන සංවත්සර උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.

රටක් ලෙස මෙම වර්ධනය විශාල ජයග්‍රහණයක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, ආර්ථික වශයෙන් ශක්තිමත් පරිසරයක් තුළ සෑම පුරවැසියෙකුටම ගෞරවනීය, සුරක්ෂිත සහ සතුටින් ජීවත් විය හැකි පසුබිමක් නිර්මාණය කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බවද සඳහන් කළාය.

මූල්‍ය දැනුම සමාජයේ සීමිත පිරිසකට පමණක් සීමා නොවී, සෑම පුරවැසියෙකුටම තම ආදායම නිවැරදිව කළමනාකරණය කිරීමට, ඉතිරි කිරීමට සහ අවදානම් හඳුනාගෙන ආයෝජනය කිරීමට හැකි පසුබිමක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවද ඇය පැවසුවාය.

එමෙන්ම, ජනතාව වංචාකාරී මූල්‍ය ජාවාරම්වලට හසු නොවීම සඳහා අවශ්‍ය මූල්‍ය දැනුවත්භාවය ලබාදීමේ වැදගත්කමද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

අනාගත පරපුර වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරමින්, නව විෂයමාලා සංශෝධන යටතේ 6 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා “ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාව” නමින් නව විෂය ක්ෂේත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

අද දියත් කළ “Stock Market Game” වැඩසටහන සහ පාසල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම් වැනි ප්‍රායෝගික වැඩසටහන් හරහා පාසල් දරුවන්ට සහ තරුණ පරපුරට කුඩා වියේ සිටම ව්‍යවසායකත්වය සහ ආයෝජනය පිළිබඳ අවබෝධයක් ලබාදිය හැකි බවද ඇය පෙන්වා දුන්නාය.  

කොළඹ කොටස් හුවමාරුව දිවයින පුරා ශාඛා 13ක් දක්වා පුළුල් කරමින් ජනතාව අතර මූල්‍ය දැනුම ව්‍යාප්ත කිරීමට දරන උත්සාහය රජයක් ලෙස අගය කරන බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. සාම්ප්‍රදායික ඉතුරුම් ක්‍රමවලින් ඔබ්බට ගොස් රටේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ශක්තිමත් කිරීම මෙන්ම තරුණ පරපුර සඳහා නව ආයෝජන අවස්ථා නිර්මාණය කිරීම කෙරෙහිද රජය අවධානය යොමු කර ඇති බව ඇය සඳහන් කළාය.

කොළඹ කොටස් හුවමාරුවේ 40 වන සංවත්සරය සැමරීම, මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම සහ “Stock Market Game” වැඩසටහන දියත් කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණා. එහිදී 40 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ සමරු කවරය සහ මුද්දරය එළිදැක්වීමද සිදුකෙරුණු අතර, වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කිරීම සනිටුහන් කරමින් අග්‍රාමාත්‍යවරිය විසින් සීනුව නාද කරනු ලැබුවා.

මෙම අවස්ථාවට කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.