මීටර් 600ක් නිසා මුළු දකුණටම කළුවරේ ඉන්න වෙයි..

Power cut Sri Lanka Ceylon Electricity Board Power Cut Today Southern Province Sagala Ratnayaka
By Aruna Aug 07, 2023 03:17 AM GMT
Report

පෞද්ගලික තේ වත්තක් ඉහළින් විදුලි රැහැන් ඇදීමට සිදුවීමේ අර්බුදයක් හේතුවෙන් සමස්ත දකුණු පළාතටම ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණ යාන්ත්‍රණයෙන් විදුලිය ලබාදීමට නොහැකි තත්වයක් මතුව ඇති බව වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය වී ඇත්තේ අදාළ ගැටළුව විසඳීම සඳහා කමිටුවක් පත් කිරීමටයි.

දකුණු පළාතද ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණ යාන්ත්‍රණයට සම්බන්ධ කිරීම සඳහා පොල්පිටිය සිට හම්බන්තොට දක්වා කිලෝවොට් 220 ක ධාරිතාවක් ගෙන යා හැකි විදුලි රැහැන් ඇදීමට යෝජනා වී තිබුණා.

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත මෙම ව්‍යාපෘතිය ආරම්භ වුවද එය ඉටු කිරීමට නොහැකිව තිබුණේ පෞද්ගලික තේ වත්තක් මැදින් මීටර 600 ක දුරක් සම්ප්‍රේෂණ රැහැන් ඇදීමට සිදුවීමත් සමඟ ඊට වතු හිමියාගේ අනුමැතිය අවශ්‍යව තිබීමයි.

මේ අනුව, අදාල වතු හිමියා තම ඉඩම ඉහළින් විදුලි රැහැන් ඇදීමට විශාල වන්දි මුදලක් ඉල්ලා සිටියත් එම වන්දියේ වටිනාකම වරින් වර වෙනස් කිරීම නිසා ගැටළුකාරී තත්වයක් පැන නැග තිබේ.

මීට අදාලව වාර්තාවන්නේ, මෙම ඉඩම මතින් විදුලි රැහැන් ඇදීම වෙනුවෙන් රජයේ තක්සේරුව අනුව රුපියල් මිලියන 1.6 ක වන්දියක් ගෙවීමට නිර්දේශ වී ඇතත්, තේ වතු හිමියා එම මුදල වෙනස් කරමින් මේ වනවිට රුපියල් මිලියන 9.6 ක් ඉල්ලා ඇති බවයි.

එම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී ඇත්තේ, ස්වාධීන තක්සේරුකරුවෙකු වෙත මෙම තක්සේරුව ලබාදීමටත්, එම කටයුතු සම්බන්ධීකරණය කොට ගැටළුව විසඳීමට කමිටුවක් පත් කරන ලෙසයි.

ඒ අනුව, අදාළ කමිටුව පත් කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහජන උපයෝගීතා කොමිසමට දැනුම්දී තිබේ.

විදුලි ඉංජිනේරුවන් ප්‍රකාශ කර ඇත්තේ, අදාළ දකුණු අධිබලැති විදුලි සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයේ දැනට වැඩ නතර වී ඇති මීටර් 600 කොටසෙහිද වැඩ අවසන් කළහොත් පෞද්ගලික බලාගාරයකින් විදුලිය මිලදී ගැනීමකින් තොරව දකුණු පලාතට විදුලිය ලබා දිය හැකි බවයි.

මෙරට ජාතික විදුලිබල පද්ධතියේ සමස්ත ධාරිතාව මෙගාවොට් 4500ක් වන අතර දැනට ප්‍රයෝජනයට ගන්නේ මෙගාවොට් 2200ක පමණ ධාරිතාවක් බවයි සඳහන් වන්නේ.

මේ අතර සමනළවැව ජල විදුලි බලාගාරයෙන් දකුණු පළාතට විදුලිය ලබාදෙන අතර පවතින නියං තත්ත්වය හමුවේ සමනළ වැව ජලාශයේ ජලය සීග්‍රයෙන් අඩු වී ඇත.

එම තත්ත්වය හමුවේ සමනළ වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීම සීමා කර ඇති අතර වලව වම් ඉවුරේ ගොවීන් පවසන්නේ එම ජලය තම වගා බිම් සඳහා ප්‍රමාණවත් නොවන බවයි.