මැතිවරණ කොමිෂන් නිවේදනයක් නිකුත් කොට දේශපාලන පක්ෂවලට වගකීම් මතක් කර දෙයි...

Government Election Commission Political parties Sri lankan sinhala news Galle face protest Election Commission notice
By Subodha Apr 18, 2022 09:30 AM GMT
Report

ජනතාවගේ අදහස්වලට ඇහුම්කන් නොදීම බරපතළ ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ, සියලු දේශපාලන පක්ෂ සහ සංවිධාන එකඟතාවකට පැමිණ අදාළ අර්බුද විසඳාගත යුතු බවයි.

සියලුම දේශපාලන පක්ෂ හා සංවිධාන එකඟතාවකට පැමිණ අර්බුදයට විසඳුම් ලබාදිය යුතු බවත්, ජනතා අදහස්වලට සවන් නොදුනහොත් බරපතළ ව්‍යසනයක් ඇතිවිය හැකි බව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලට අවධාරණය කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසන් සභාව පෙන්වා දෙන්නේ දේශපාලන හා ආර්ථික වැඩපිළිවෙලක් නිශ්චිත කාලරාමුවක් තුළ ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලට මගහැරිය නොහැකි වගකීමක් බවයි.

එය, රටේ අනාගතයට මෙන්ම දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් ද තීරණාත්මක වනු ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.

රට තුළ මේ වනවිට පවතින තත්වය පිළිබඳව මැතිවරණ කොමිසම බලවත් සන්තාපයට පත්ව තිබෙනවා.

මහජන නියෝජිතයින් නැවත කැඳවීමට ජනතාවට බලය ලබාදීම හා මැතිවරණයක දී දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් කරනු ලබන අතිදැවැන්ත ධනස්කන්ධයක සීමා පනවන යෝජනා කොමිසම් සභාව ඉදිරිපත් කර ඇත්තේ ද ඵලදායී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ස්ථාපිත කිරීමේ අරමුණින් බවයි අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සිවිල් වැසියන්ට සිය මහජන පරමාධිපත්‍යයට යටත්ව සාමකාමී උද්ඝෝෂණ සිදු කළ හැකියි.

ඒ අනුවයි, රටේ මේ වනවිට ඇති වී තිබෙන අර්බුදකාරී ආර්ථික හා දේශපාලන පසුබිමට එරෙහිව රට පුරා මහජනතාව වීදි බැස ඇත්තේ.

මේ වනවිට දැවැන්ත විරෝධතාවක් 10 වැනි දිනටත් අද ගාලුමුවදොර පැවැත්වෙන්නේ පුරවැසි අරගලයේ නිර්පාක්ෂික විරෝධතාවක් ලෙසයි.

මෙවන් පසුබිමක් සම්බන්ධයෙන් අදහස් පළ කරමිනුයි, මැතිවරණ කොමිෂන් සභාව විසින් වත්මන් ආණ්ඩුවට ජනතාවට ඇහුම්කන් දී සාකච්ඡාමය මාර්ගයෙන් අර්බුද විසඳා ගැනීමට ප්‍රවිශ්ට වන ලෙසට දැනුම්දී ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now