එල්නිනෝ තත්ත්වයෙන් ලබන වසරේ විදුලි උත්පාදනයට බලපෑමක්
පවතින එල්නිනෝ තත්ත්වය හමුවේ ලබන වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවලදී විදුලි උත්පාදනයට යම් බලපෑමක් එල්ල විය හැකි බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
ඒ අනුව, එම තත්ත්වයට මුහුණදීම සඳහා බැටරි බලශක්තිය භාවිත කරමින් විදුලිය උත්පාදනය කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පළමු අදියර යටතේ මෙගාවොට් 160ක ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමේ ව්‍යාපෘතිය දෙසැම්බර් මාසයට පෙර අවසන් කිරීමට නියමිතය. එහිදී සැප්තැම්බර් මාසයේදී මෙගාවොට් 130ක් සහ ඔක්තෝබර් මාසයේදී තවත් මෙගාවොට් 10ක් ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබේ.
එමෙන්ම, පෞද්ගලික අංශය විසින් ඉදිකරනු ලබන මන්නාරම සුළං බලාගාරය සම්බන්ධයෙන් පවතින ගැටලුව විසඳා ගැනීමට හැකි වුවහොත් තවත් මෙගාවොට් 50ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කරගත හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
බැටරි පද්ධති හරහා මෙගාවොට් 250ක් සහ මෙගාවොට් 150ක් ජාතික පද්ධතියට එක් කරගනිමින් ලබන වසරේ ඇති විය හැකි එල්නිනෝ තත්ත්වයට මුහුණදෙමින් අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.