එල් නිනෝ තත්ත්වය මධ්‍යස්ථ මට්ටමට වර්ධනය වෙයි
ශ්‍රී ලංකාව මේ වන විට දුර්වල එල් නිනෝ තත්ත්වයේ සිට මධ්‍යස්ථ එල් නිනෝ තත්ත්වය දක්වා වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ, එල් නිනෝ සංසිද්ධිය මේ වන විට මෙරට තුළ ස්ථාපිත වී ඇති අතර, ඉදිරි මාස කිහිපය තුළ වැසි රටාවට සහ උෂ්ණත්වයට සැලකිය යුතු බලපෑම් එල්ල විය හැකි බවයි.
ඔහු පෙන්වා දුන්නේ, එල් නිනෝ තත්ත්වය හේතුවෙන් වැසි අඩුවීමක් පමණක් නොව, ඇතැම් කාලවලදී සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක්ද වාර්තා විය හැකි බවයි. එම තත්ත්වය හේතුවෙන් සමහර ප්‍රදේශවල ගංවතුර අවදානමක්ද මතුවිය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.
අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එල් නිනෝ සංසිද්ධිය නිරිතදිග මෝසම්, ඊසානදිග මෝසම් සහ අන්තර් මෝසම් වැසි රටාවන්ට සෘජු බලපෑමක් එල්ල කරන බවයි. ඒ අනුව නිරිතදිග මෝසම් සමයේ වර්ෂාපතනය අඩුවිය හැකි අතර, ඊසානදිග මෝසම් සමයේ ආරම්භක අවධියේ වැසි තරමක් ඉහළ යා හැකි බවත්, එහි අවසන් කාලයේදී නැවතත් වර්ෂාපතනය අඩුවිය හැකි බවත් ඔහු පැවසීය.
තවද ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දෙවන අන්තර් මෝසම් සමයේ උෂ්ණත්වය තරමක් ඉහළ ගියද, සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බවත්, එම කාලසීමාව තුළ ඇතැම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවතින බවත් ඔහු සඳහන් කළේය.
අජිත් විජේමාන්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, එල් නිනෝ සංසිද්ධිය කෙටි කාලීන තත්ත්වයක් නොවන අතර, මාස 10 සිට 12 දක්වා කාලයක් පුරා පවතින ස්වභාවික දේශගුණික සංසිද්ධියක් බවයි. එම නිසා එය වසර පුරාම නියඟයක් හෝ වසර පුරාම අධික වැසි ඇති කරන තත්ත්වයක් ලෙස නොසලකා, කාලගුණ රටාවන් වෙනස් කරන දේශගුණික සාධකයක් ලෙස සැලකිය යුතු බවද ඔහු පැවසීය.