එක්සත් ජාතීන්ගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක් - එල්නිනෝ නිසා ලංකාවට ගංවතුර සහ දැවැන්ත කෘෂිකාර්මික අවදානමක්

Weather Latest Headlines Sinhala news Puwath.lk El Niño
By R.rishma Sep 01, 2026 08:08 AM GMT
Report

පවතින එල්නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් මේ වසරේ අවසාන භාගයේදී ශ්‍රී ලංකාවට සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එම තත්ත්වය හේතුවෙන් ගංවතුර, ජලයෙන් යටවීම් මෙන්ම කෘෂිකාර්මික කටයුතුවලට බලපෑම් ඇතිවීමේ අවදානමක් පවතින බවද එම සංවිධානය පෙන්වා දෙයි.

ආසියානු කලාපයේ රටවලට එල්නිනෝ දේශගුණික තත්ත්වයෙන් සිදුවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම තක්සේරු වාර්තාවක මේ බව සඳහන් වේ.

එම තක්සේරුවට අනුව එල්නිනෝ තත්ත්වය හේතුවෙන් වැඩි අවධානයක් අවශ්‍ය රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති අතර, මෙරටට පවතින ප්‍රධාන අවදානම වියළි කාලගුණයට වඩා සාමාන්‍යයට වැඩි වර්ෂාපතනයක් ලැබීම බව වාර්තාවේ දැක්වේ.

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබිය හැකි අතර, දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය තුළ ඊසානදිග මෝසම සක්‍රීය වීමත් සමඟ සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාවක් ලැබීමේ හැකියාවක් පවතින බවද එහි සඳහන්ය.

මේ අතර, දේශගුණික අවදානමත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික පීඩනයද ඉහළ යා හැකි බව එක්සත් ජාතීන්ගේ වාර්තාව පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, මෙම අවදානම තවමත් පුළුල් බලපෑමක් බවට පත්ව නොමැති බැවින්, පූර්ව සූදානම් වීම සඳහා තීරණාත්මක අවස්ථාවක් තවමත් පවතින බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශ රැසක් සිඳී ගොස් ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා සඳහන් කළේය.

එල්නිනෝ තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ගොවිබිම් සඳහා වන්දි ලබාදීමට රජය මේ වන විටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.