ඉදිරි සති කිහිපයේ බිත්තර මිලට වෙදේ මෙන්න..කුකුල් මසුත් මිල යයි?.

Business Mobile Sri Lanka
By Aruna Nov 07, 2022 04:12 AM GMT
Report

ඉදිරියේදී එළඹෙන උත්සව සමයේදී අසීමිත ලෙස බිත්තර මිල ඉහළ යාමේ දැඩි අවදානමක් තිබෙන බවත් මේ සම්බන්ධයෙන් රජය වහා මැදිහත්ව කටයුතු නොකළහොත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු බිත්තර වෙළෙඳපොළ ඔවුන්ට අවශ්‍ය ලෙස හසුරුවනු ඇති බවත් සමස්ත ලංකා බේකරි හිමිකරුවන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසනවා.

රටේ ඉල්ලුමට සරිලන බිත්තර සැපයුමක් නොමැතිකම නිසා මේ වනවිට බිත්තර තොග මිල රුපියල් 53ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඒ මහතා කියා සිටියේ.

මහනුවරදී පෙරේදා (නොවැ. 5) පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

බිත්තර සඳහා රුපියල් 45ක පාලන මිලක් තිබුණත් මේ වන විට තොග මිලට සාපේක්ෂව බිත්තර සිල්ලර මිල රුපියල් 60ක සීමාවට පැමිණ ඇතැයි ද ඒ මහතා කීය.

රුපියල් 45ක පාලන මිලක් බිත්තර සඳහා තිබුණත් දැන් එය නිල නොවන මට්ටමින් රුපියල් 50ක් බවට පත්ව තිබෙන බව ත් වැඩි මිලට බිත්තර අලෙවි කරන සිල්ලර වෙළෙන්දාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුවත් තොග වෙළෙන්දා සම්බන්ධයෙන් එලෙස නීතිය ක්‍රියාත්මක වීමක් දක්නට නොමැති බවත් ජයවර්ධන මහතා කියා සිටියා.

බේකරි නිෂ්පාදකයන් මේ වනවිට තොග වෙළෙඳුන් ගෙන් බිත්තර මිලට ගනු ලබන්නේ රුපියල් 53-55 අතර මුදලකට බව ද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

පවතින ආර්ථික අර්බුදය හමුවේ තම ව්‍යාපාර පවත්වාගෙන යා නොහැකිව සුළු ව්‍යාපාරිකයන් බිත්තර සඳහා ඇති කළ කිකිළියන් මසට විකුණා ව්‍යාපාර වසා දමන බව ද සුළු පරිමාණ බිත්තර ගොවීන් කර්මාන්තයෙන් ඉවත්ව යාමත් සමග සම්පූර්ණ බිත්තර ව්‍යාපාරය මේ වනවිට මහා පරිමාණ බිත්තර වෙළෙඳුන් අතට පත්ව තිබෙන බවත් මොවුන් ඉතාමත් ම අසාධාරණ ලෙස බිත්තර මිල ඉහළ දමමින් සිටින බව ත් කී ඒ මහතා පාලන මිලේ බලපෑම සිල්ලර වෙළෙන්දාට මිස තොග වෙළෙන්දාට නොමැති බව ද අවධාරණය කළා.

බේකරි නිෂ්පාදකයන්ට ගොවි පොළවලට ගොස් කියන මිලට බිත්තර මිලට ගැනීමට සිදුව තිබෙන බවත් රජය මේ සම්බන්ධයෙන් යම් මැදිහත් වීමක් කළ යුතුව තිබෙන බවත් සභාපතිවරයා පැවසුවේය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් බේකරි හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුමින්ද වික්‍රමනායක, ලේකම් ජගත් පොන්නප්පෙරුම, සිංහල වෙළෙඳ පෙරමුණේ හිටපු සභාපති මහින්ද මුණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගිවී සිටියහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now