දිනෙන් දින උග්‍ර වන බිත්තර ගැටලුව..බේකරි හිමියන්ගේනුත් විශේෂ ඉල්ලීමක්...

Food Shortages Sri Lanka Sri Lanka Food Crisis
By Sewvandhi Dec 31, 2022 04:12 PM GMT
Report

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ, බිත්තර නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වන තුරු ඉන්දියාවෙන් හෝ පාකිස්ථානයෙන් බිත්තර ආනයනය කළ යුතු බවයි.

එහි සභාපති, එන්.කේ. ජයවර්ධන මහතා කියා සිටියේ බිත්තර මිල සැලකිය යුතු ලෙස පහළ නොදැමුවහොත් පාන් හැර සෙසු සියලු‍ බේකරි නිෂ්පාදනවල මිල යළි ඉහළ දැමීමට සිදුවන බවය.

සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය ද, මෙරට බිත්තර නිෂ්පාදනය මේ වන විට ඉල්ලුමට සරිලන ලෙස ලබාදීමට නොහැකි තත්ත්වයක පවතින බව ප්‍රකාශ කර සිටිනවා.

සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ දත්තවලට අනුව මෙරට දෛනික බිත්තර පරිභෝජනය ලක්ෂ 60ත් 65ත් අතර අගයක පවතිනවා.

උත්සව සමයේ දී එය ඉහළ යන්නේ දෛනිකව ලක්ෂ 70ත්, 75ත් අතර ප්‍රමාණයක් දක්වායි. කෙසේ වෙතත්, මේ වනවිට මෙරට දෛනික බිත්තර සැපයුම ලක්ෂ 40ක් දක්වා පහත බැස තිබෙනවා.

ඒ අනුව වෙළෙඳ පොළේ බිත්තර මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් තීරණය කළේ අතරමැදියන්ගෙන් තොරව රුපියල් 55 බැගින් බිත්තර අලෙවි කිරිම සඳහා ඉදිරිපත් වීමටයි.

ඇතැම් ප්‍රදේශවලට එවැනි ලොරි රථ පැමිණ තිබුණත් ඇතැම් ප්‍රදේශවලට එවැනි ලොරි රථ පැමිණ තිබුණේ නැහැ. කෙසේ වෙතත්, මෙම බිත්තර මිල ගැටලු‍ව සම්බන්ධයෙන් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ නියෝජිතයින් අතර මේ වනවිට මතුව ඇත්තේ මත භේදාත්මක තත්ත්වයක්.

කෙසේ වෙතත්, සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පැවසුවේ නිෂ්පාදන වියදම අනුව මේ වනවිට බිත්තරයක් රුපියල් 26ක් වැනි මිලකට අලෙවි කිරීමේ හැකියාව පවතින බවයි. එක් බිත්තරයකින් රුපියල් 35 ක පමණ ලාභයක් නිෂ්පාදකයන්ට හිමිවන බවද ඔහු සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now