ජනපති සමාව අහෝසිකර වහාම දුමින්ද සිල්වාව අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝගයක්..!

Dumindha Silva Sri Lanka Supreme Court of Sri Lanka
By Sithumi May 31, 2022 10:38 AM GMT
Report

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කළ සමාව අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව අප අධිකරණ වාර්තාකරු පවසයි.

ඒ අනුව දුමින්ද සිල්වා මහතාව යළි සිරභාරයට ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ. මෙම නියෝග ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත නියෝග කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය, ඊට අවශ්‍ය උපදෙස් හා සහාය ලබාදෙන ලෙස නීතිපතිවරයාට නියම කර ඇත.

දුමින්ද සිල්වා මහතාගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද අධිකරණය නිකුත් කර ඇති බව අප අධිකරණ වාර්තාකරු වැඩිදුරටත් පවසයි.

අදාළ ජනාධිපති සමාව අභියෝගයට ලක්කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඇයගේ මව සුමනා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරෙකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් ඇතුළු පිරිසක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබේ.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට ගැනීමට අවසර දෙමින් ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 01 වනදා පැවැත්වීමට ද දින නියම කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now