අමෙරිකාවටත් ඕනෑ කර සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු “ශිරාන් බාසික්” ලංකාවට පිටුවහල් කරයි

CID - Sri Lanka Police Dubai Crime Latest Headlines Sinhala news
By R.rishma Aug 14, 2026 02:44 PM GMT
Report

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන “ශිරාන් බාසික්” නමැත්තා අද (14) දිනයේදී ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව වාර්තා වේ.

ශිරාන් බාසික් පසුගිය මැයි 26 වැනිදා ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඉරාන මත්ද්‍රව්‍ය ජාලයක් සමඟ ඍජු සබඳතා පවත්වා ඇති බවට සැක කෙරෙන ඔහු, අමෙරිකානු බලධාරීන්ගේද අවධානයට ලක්ව සිටි පුද්ගලයෙකු බව වාර්තා වේ.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ඔහු ඩුබායිහිදී ධන කුවේරයෙකු ලෙස පෙනී සිටිමින් සැඟවී සිට ඇති බවයි. 

ශිරාන් බාසික් මෙරටට මත්ද්‍රව්‍ය සැපයීමේ නිරත ප්‍රධාන පෙළේ මහා පරිමාණ ජාවාරම්කරුවන් පස්දෙනා අතර සිටින අයෙකු ලෙස සැලකේ.

විශේෂයෙන් කොළඹ සහ කොළඹ දකුණු ප්‍රදේශ ආශ්‍රිතව ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය පුළුල්ව ක්‍රියාත්මක වී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබේ.

වෙලේ සුදාගෙන් පසුව මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ සිටින ප්‍රබලතම ජාවාරම්කරුවෙකු ලෙසද ශිරාන් බාසික් සැලකෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදී යම් ගැටලුකාරී තත්ත්වයක් පැවති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද විශේෂ ඉල්ලීම් මත ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ඩුබායි පොලිසිය එකඟ වී ඇති බව වාර්තා වේ.

මේ අතර, ශිරාන් බාසික්ට අමතරව තවත් පුද්ගලයින් දෙදෙනෙකුද අද (14) දිනයේදී ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.