වෛද්‍ය ෂාෆිගේ නිවෙසකින් හමු වූ අබිරහස් මළසිරුර
වෛද්‍ය මොහොමඩ් ෂාෆි ට අයත් බව කියන කලාවැව, බලලුවැව ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ තිබි සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගල මළ සිරුරක් ඊයේ (31) හමුවී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත ගල්කිරියාගම පොලිසිය විසින් මළ සිරුර සොයාගත් බවයි.
අදාල නිවසේ කාමරයක ඇඳක් මතයි මළ සිරුර තිබී ඇති අතර මෙලෙස සැකකටයුතු ලෙස මිය ගොස් ඇත්තේ අනුරාධපුර, දේවානම්පියතිස්සපුර, 4 වන පටුමග ප්‍රදේශයේ ස්ථීර පදිංචි මොහොමඩ් අස්කර් මොහොමඩ් නිදාම් නමැති 58 හැවිරිදි එක්දරු පියෙක්.
මෙම මිය ගිය පුද්ගලයා මීට මාස කිහිපයකට ඉහතදී බලලුවැව ප්‍රදේශයේ රැකියාවක් සඳහා පැමිණ ඇති අතර පසුව ඔහු මෙම නිවසේ තාවකාලිකව නැවතී සිට ඇති බවයි සිදුකළ මූලික පොලිස් විමර්ශණවලදී අනාවරණය වී ඇත.
මිය ගිය පුද්ගලයාගේ සිරුර තිබූ ඇඳ ආසන්නයේ කුඩා මේසයක් මත තිබී ඖෂධවර්ග කිහිපයක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.
මෙම මරණය සියදිවි නසා ගැනීමක්ද, ඝාතනයක් ද, නැතහොත් ස්වභාවික මරණයක් ද යන්න තවමත් අනාවරණය කරගෙන නොමැති බවද පොලිසිය පවසනවා.
මරණය සම්බන්ධයෙන් එම නිවස භාරව සිටින බව කියන පුද්ගලයකු ඇතුළු කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට පොලිසිය පියවර ගෙන ඇති අතර අදාල නිවස මාස හයකට පමණ පෙර මිලදී ගත් එකක් බවත් එහි කඩ කාමර කිහිපයක් ඉදිකිරීමට සූදානම් බවත් පැවසෙනවා.
සැක කටයුතු මරණය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිස් අපරාධ අංශ නිලධාරීන් සමග අනුරාධපුර පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විමර්ශන ආරම්භ කළා.