ශිරන්ති රාජපක්ෂට බයිපාස් සැත්කමක් අවශ්ය බව අධිකරණයේදී හෙළිවෙයි
ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ‘සිරිලිය සවිය’ සංවිධානය වෙත රුපියල් මිලියන 10ක මුදලක් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ වෛද්ය වාර්තාව අද (16) කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
අදාළ නඩුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදී මෙම වෛද්ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ඇත.
වෛද්ය වාර්තාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා සඳහන් කර ඇත්තේ, කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයාගේ ආවරණ ලිපියක්ද සමඟ එම වාර්තාව ඉදිරිපත් කර ඇති බවයි.
ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ රෝගී තත්ත්වය පිළිබඳ තොරතුරු වාර්තාවේ ඇතුළත් වන බව විවෘත අධිකරණයේදී ප්රකාශ කළ මහේස්ත්රාත්වරයා, ඇයට බයිපාස් සැත්කමක් සිදුකළ යුතු බවටද එහි සඳහන් වන බව පැවසීය.
මේ අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අදාළ වෛද්ය වාර්තාව පරීක්ෂා කර ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙසයි.
ඒ අනුව, නඩුවේ වැඩිදුර කටයුතු අද පස්වරු 2.45 දක්වා කල් තැබීමට ප්රධාන මහේස්ත්රාත්වරයා නියෝග කළේය.