මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 40 ක ආධාරයක් - සමන්තා පවර්

Sri Lanka Economic Crisis Sri Lanka United States of America Sri Lanka Food Crisis
By Sewvandhi Sep 10, 2022 04:37 PM GMT
Report

ගොවි ජනතාව සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සඳහා අමතර අමෙරිකානු ඩොලර් මිලියන 40 ක ආධාර මුදලක් ලබාදීමට පියවර ගන්නා බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පවසන්නීය. දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි සමන්තා පවර් මහත්මිය අද (10) පෙරවරුවේ ජා ඇල, ඒකල ප්‍රදේශයේ ගොවි ජනතාව මුණ ගැසී සාකච්ඡා පැවැත්විය.

එහිදී ඔවුන්ගේ ගැටලු විමසා බැලූ සමන්තා පවර් මහත්මිය ප්‍රමුඛ සිව්දෙනෙකුගෙන් සමන්විත අමෙරිකානු දූත පිරිස පොහොර ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 40 ක මුදලක් ලබාදෙන බවට ප්‍රකාශ කර ඇත. ආර්ථික අර්බුදය හේතුවෙන් ගොවි ජනතාවට මුහුණදීමට සිදුව ඇති ගැටලු සහ ඒ සඳහා අමෙරිකාවේ සහාය ලබාදිය හැකි ආකාරය පිළිබඳව සොයා බැලීම අමෙරිකානු නියෝජිතවරියගේ මෙම සංචාරයේ එක් අරමුණක් වී තිබුණි.

සමන්තා පවර් මහත්මිය හෙට (11) දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සමග වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුදයට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව සාකච්ඡා කිරීමට ද ඇය සැලසුම් කර තිබේ. වත්මන් අර්බුදය පිළිබඳව පෞද්ගලික අංශයේ නියෝජිතයින් සමග සමන්තා පවර් මහත්මිය සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනය පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now