ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වූ හේතුව මෙන්න..

Dollar to Sri Lankan Rupee Sri Lanka Dollars
By Sewvandhi Mar 03, 2023 04:43 PM GMT
Report

අද දිනයේදී (3) අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබුණි. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 334.50ක් ලෙස අද සටහන් වෙද්දී එහි විකිණුම් මිල දැක්වුණේ රුපියල් 348.03ක් ලෙසිනි.

පසුගිය සතිය තුළදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්වු අතර මාස 10කට පසුව අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් මෙරට වාර්තා වූ අවම රුපියලේ අගය අද සටහන් වී තිබුණි. මෙලෙස රුපියල ශක්තිමත්වීම වාර්තා වන්නේ ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා මෙරට පෞද්ගලික බැංකු තුනකට ඩොලර් මිලියන 400ක මූල්‍යාධාරයක් ලබාදුන් පසුබිමකය.

මේ අතර ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමට බලපෑ හේතු කිහිපයක් කැල් (CAL) ආර්ථික පර්යේෂණ ආයතනය ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව,

  • මෙරට ආනයන අපනයන වෙළෙඳ පරතරය අඩුවීම,
  • විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ හා සංචාරක ව්‍යාපාරයේ විදේශ විනිමය ආදායම ඉහළ යාම,
  • ඩොලරය දුර්වල වීම,
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය මුදල ශ්‍රී ලංකාවට හිමිවීමේ අපේක්ෂාව මත රුපියල තවදුරටත් ශක්තිමත් විය හැකි බැවින් ඩොලර් ශ්‍රී ලංකා මුදල්වලට පරිවර්තනය කිරීම ඉහළ යාම සහ
  • ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපනයන ආදායම් සහ
  • ප්‍රේෂණ සඳහා වූ රෙගුලාසි ලිහිල් කිරීම

එලෙස රුපියල ශක්තිමත්වීමට බලපෑ කරුණු අතර වන බවය.පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම පහතවැටීමෙන් මෙරට විදේශ විනිමය සංචිත පිටතට ගලායාම අවමවීමද රුපියල ශක්තිමත්වීම කෙරෙහි බලපෑ ඇති බව වාර්තා වෙයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් සියලුම වාණිජ බැංකු ප්‍රධාන විධායක නිලධාරීන් වෙත දැනුම්දී ඇත්තේ අන්තර් බැංකු විනිමය හුවමාරු ගනුදෙනුවලදී ''ස්පොට් රේට්'' සීමාව යටතේ අවම සහ උපරිම අගයේ සීමාව රුපියල් 10ක මට්ටමක පවත්වාගෙන යාමටය.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වනවිට ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය මුදලක් ලබාදීම සඳහා තීරණයකට එළැඹ ඇතැයි වන උපකල්පනය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඉහළ යාමක් අද දක්නට ලැබුණි. ඒ අනුව සමස්ත මිල දර්ශකය ඒකක 111.09කින් ඉහළ ගොස් සටහන් වූයේ 9,444.92ක් ලෙසය. කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 2.8කි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now