ඩොලරය යට ගොස් රුපියලට වටිනාකමක් එයි...ඉන්දියාවෙන් රුපියලට සුපිරි අවස්ථාවක්..
ඉන්දියාව ශ්‍රී ලාංකික පුරවැසියන්ට භෞතික ස්වරූපයෙන් ඇමරිකානු ඩොලර් 10.000 සමාන ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් (ඉන්දියානු රුපියල් ලක්ෂ 8.14) සිය සන්තකයේ තබා ගැනීමට පසුගියදා අවසර ලබාදුන්නා.
එම අවසරයත් සමග අසල්වැසියාගේ මුදල් ඒකකය, ලොව වෙනත් රටවල මුදල් බවට පරිවර්තනය කිරීමට මෙමගින් ශ්‍රී ලාංකිකයන්ට හැකියාව ලැබෙනවා.
එය පැහැදිලිවම අන්තර්ජාතික වෙළඳාමේ සිරවී ඇති ස්ථාන සක්‍රීය කරවීමට පැහැදිලි උපකාරයක්. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහබැංකුව තවමත් ඉන්දීය රුපියල මෙරට පිළිගත් විදේශ මුදල් ඒකකයක් ලෙස නම් කර නැහැ.
දැනට ශ්‍රී ලංකාව තුළ නම් කරන ලද විදේශ මුදල් ඒකක 15ක් ඇති අතර ඔස්ට්‍රෙලියානු ඩොලර්, නෝර්වීජියානු ක්‍රෝනර්, කැනේඩියානු ඩොලර්, ස්ටර්ලින් පවුම්, චීන රෙන්මින්බි (යුවාන්), සිංගප්පූරු ඩොලර්, ඩෙන්මාර්ක ක්‍රෝනර්, ස්වීඩන් ක්‍රෝනර්, යුරෝ, ස්විස් ෆ්‍රෑන්ක්, හොංකොං ඩොලර්, තායි බාට්, ජපන් යෙන්, එක්සත් ජනපද ඩොලර් සහ නවසීලන්ත ඩොලර් එලෙස නීත්‍යානුකූල විදේශීය ව්‍යවහාර මුදල් ඒකක ලෙස සැලකෙනවා.
ඉන්දීය ජනමාධ්‍ය ආනාවරණය කර ඇති ආකාරයට, ශ්‍රී ලාංකිකයින්ට ඉන්දියානු රුපියල් සිය සන්තකයේ තබා ගැනීම සඳහා, මෙරට බැංකු පද්ධතිය තුළ ප්‍රථමයෙන් ඉන්දියානු පාර්ශ්වය සමග ඒකාබද්ධව ඊට අදාළ 'නොස්ට්‍රෝ ගිණුම්'(Nostro Accounts) විවෘත කළ යුතුයි. නොස්ට්‍රෝ ගිණුම් යනු ද්විපාර්ශ්වික වෙළඳාම සහ අනෙකුත් මූල්‍ය ගනුදෙනු සඳහා පහසුකම් සැලසීම සඳහා විදේශීය බැංකුවක් සමඟ අදාළ රටේ බැංකුවක් විසින් විවෘත කරන ලද සහ එම විදේශ රටක මුදලින් විවෘත කරන ලද ගිණුම් වනවා.
මීට අමතරව, ඉන්දියාවේ වාසය කරන ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් තැන්පතු භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා බැංකුවල විදේශීය ශාඛා ඉන්දියාවේ පිහිටුවීම සඳහා ද මෙමගින් අවසර හිමිවනවා.
මීට අමතරව ශ්‍රී ලාංකික සිසුන්ට සහ සංචාරකයින්ට පහසුවක් ඇති කිරීම සඳහා ඉන්දියාව තවදුරටත් මුදල් රෙගුලාසි ලිහිල් කර තිබෙනවා.
ඒ අනුව, ඔවුන්ට දැන් විදේශ ගමන් දීමනාව ලෙස ඉන්දියානු රුපියල්වලින් ඩොලර් 5,000 දක්වා මුදල් ලබා ගත හැකියි.
ඒ අනුව ඉන්දියාව මෙලෙස සිය මුදල් ඒකකය සම්බන්ධයෙන් ලබා දී ඇති නව අනුමැතියෙන් අදහස් වන්නේ, ශ්‍රී ලාංකිකයන් සන්තකයේ ඇති ඉන්දීය රුපියල්, ඉදිරියේ දී ඉන්දියාව සමග සිදු කරන සියලුම ආකාරයේ ආනයන අපනයන ඇතුළු වෙළඳ ගනුදෙනු වෙනුවෙන්, එක්සත් ජනපද ඩොලරය වෙනුවට භාවිත කළ හැකි බවයි.
මෙය ශ්‍රී ලංකාව මුහුණදී සිටින දැවන්ත ආර්ථික අර්බුදය හමුවේ මෙරට මුහුණ දී සිටින විදේශ විනිමය ද්‍රවශීලතා අර්බුදයට විශාල සහනයක් වන බවට සැක නැහැ.
2021-2022 මුල්‍ය වර්ෂයේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම එක්සත් ජනපද ඩොලර් බිලියන 6.81 ක් වුණා.
ඉන්දියානු රුපියල (INR) ලොව පුරා සිටින ඉන්දීය වෙළඳ හවුල්කරුවන් විසින් පිළිගත් අන්තර්ජාතික මුදල් ඒකකයක් ලෙස හඳුන්වා දීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා.
ඉන්දියාව දැනටමත් ලොව 05වන විශාලතම ආර්ථිකය වන අතර, ආර්ථිකය තවදුරටත් වර්ධනය වන බැවින් එය ගෝලීය මුදල් ඒකකයක් බවට පත්වීමට වැඩි කාලයක් ගතවේයැයි සිතිය නොහැකියි.
ඉන්දියානු සංචිත බැංකුව සහ විදේශ කටයුතු සහ වාණිජ අමාත්‍යාංශ ඇතුළු ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ ආයතන දැනටමත් එක්සත් ජනපද ඩොලරය වෙනුවට ඉන්දියානු රුපියල් භාවිතා කරමින් අන්තර්ජාතික වෙළඳාම ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳ සාකච්ඡා මේ වන විට සිදු කරගෙන යනු ලබනවා.
එම සාකච්ඡාවලට සමගාමීව ඉන්දීය රුපියල ගෝලීය මුදල් ඒකකයක් බවට පත් කිරීමේ කඩිනම් ඉදිරි පියවරක් ලෙස 'රුපියල් වෙළඳාම' පිළිබඳව සාකච්ඡා කරන්නැයි අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටින ලෙස ඉන්දීය මූල්‍ය පාලකයන් වාණිජ බැංකුවලට දන්වා තිබෙනවා.
මේ වන විට මහින්ද්‍රා මෝටර්ස් ඇතුළු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සමාගම් කිහිපයක් සහ සංචාරක ක්ෂේත්‍රය ද ශ්‍රී ලංකාව තුළ ඉන්දීය රුපියල පිළිගන්නා ලෙස ඉල්ලා ඇත්තේ(භාවිතයට ගැනීමේ හැකියාව සලසන ලෙස) ඒ අනුවයි.
අනෙක් අතට, ඉන්දියාවේ මෙම තීරණය ආසියානු රටවල් අතර ඉන්දීය රුපියල ප්‍රචලිත කිරීමට සහ එක්සත් ජනපද ඩොලරය මත යැපීම අඩු කිරීමට දරන උත්සාහයන් සමඟ ද සමපාත වනවා.
දේශසීමා හරහා සිදුකෙරෙන ගෙවීම් සඳහා පහසුකම් සපයන SWIFT නම් මූල්‍ය පණිවුඩකරණ පද්ධතිය තවදුරටත් භාවිත කිරීමට එක්සත් ජනපදය සහ බටහිර රටවල් රුසියානු බැංකුවලට අවසර ලබා නොදෙන පසුබිමක පසුගිය ජූලි මාසයේදී ඉන්දියාව සහ රුසියාව එක්ව ඉන්දීය රුපියල දෙරට අතර ගෙවීම් මාධ්‍යයක් ලෙස ස්ථාපනය කරනු ලැබුවා.
දැන් මෙම නව යාන්ත්‍රණය විසින් ඉන්දියානු රුපියල්වලින් ගෝලීය වෙළඳාම පියවීමට ඉඩ සලසන පියවර ක්‍රමානුකුලව වර්ධනය කරමින් තිබෙනවා.
චීනය බොහෝ නිෂ්පාදන අපනයනය කරන නිසා චීන යුවාන් සැලකිය යුතු ලෙස ගෝලීය වෙළඳාමේ අන්තර්ජාතික මුදල් ඒකකයක් බවට පත්වෙමින් තිබෙන අවස්ථාවක ඩොලරයට අමතරව, චීනයට තරගයක් ලබාදිය හැක්කේ, ඉන්දියාව වැනි නිෂ්පාදකයෙකු ලෙස ප්‍රබල වුවහොත් පමණක් වන නිසා ඉන්දීය රුපියල ගෝලීය වෙළඳපොලට පැමිණීම භූ දේශපාලනිකව ද වැදගත් වනු ඇති.
එහිදී ඉන්දීය රුපියල ආරක්ෂිත වත්කමක් ලෙස අන්තර්ජාතිකකරණය කිරීමට රටේ ආර්ථිකයේ ප්‍රමාණය ඉතා වැදගත් වන අතර ලොව පස්වැනි විශලතම ආර්ථිකය හිමි ඉන්දියාවට එම නිර්ණායකය සැපිරීම එතරම් අපහසු නැහැ.
අනෙක් අතට ඉන්දීය රුපියල පිළිගනු ලබන වෙනත් රටවල් සංඛ්‍යාවද ඉහල යායුතු අතර මේ වන විටත් නේපාලය, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින වැනි සමහර අසල්වැසි රටවල ඉන්දියානු රුපියල අවිධිමත් ලෙස පිළිගනු ලබනවා.
එය සිම්බාබ්වේහි නීත්‍යානුකූල විදේශ ණය ගෙවීමේ මාධ්‍යයක් ලෙස පවා පිළිගැනීමට ලක්ව තිබෙනවා.
ඒ අනුව දෙවැනි නිර්ණායකය ද ඉන්දියාව විසින් සපුරාලමින් සිටින බව පැහැදිලියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |