පැපොල් කොළ යුෂ වැනි අත් බෙහෙත් ඩෙංගු රෝගීන්ට ලබා නොදෙන්නැයි වෛද්‍ය උපදෙස්

Dengue Prevalence in Sri Lanka Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 25, 2026 12:41 PM GMT
Report

ඩෙංගු රෝගීන් සඳහා සුදුසුකම් ලත් බටහිර හෝ ආයුර්වේද වෛද්‍යවරයෙකු විසින් නිර්දේශ කරන ඖෂධ හැර වෙනත් කිසිදු අත් බෙහෙතක් භාවිත නොකරන ලෙස බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය සමින්ද ආරියරත්න මහතා අවධාරණය කරයි.

විශේෂයෙන්ම පැපොල් කොළ යුෂ වැනි අත් බෙහෙත් භාවිත කිරීම හේතුවෙන් ඇතැම් ඩෙංගු රෝගීන්ගේ තත්ත්වය බරපතළ වී ඇති බවත්, ඔවුන් විවිධ සංකූලතාවලට මුහුණ දී ඇති බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විවිධ පණිවිඩවලට අනුව ඖෂධ සකස් කර ගැනීම හෝ භාවිත කිරීම කිසිසේත් නොකළ යුතු බවද වෛද්‍ය සමින්ද ආරියරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, වර්තමානයේ පවතින ඩෙංගු ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඩෙංගු රෝගීන් සඳහා විශේෂිත සායනයක් බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේදී ජූලි 31 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පරාක්‍රම හේමචන්ද්‍ර මහතා පවසයි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යටතේ ප්‍රතිකාර ලබා ගැනීමට අපේක්ෂා කරන ඩෙංගු රෝගීන්ට බොරැල්ල ජාතික ආයුර්වේද රෝහල වෙත පැමිණ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසද අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටී.