මහජන ආරක්ෂක ඇමති හා දෙමළ සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක්..!
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙම සාකච්ඡාව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවති අතර විශේෂයෙන් පොලිස් බලතල සම්බන්ධයෙන් අවධානය යොමුවූ බව වාර්තා වෙයි.
දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් මෑත කාලයේ එංගලන්තය සහ ඉන්දියාව වැනි දියුණු රටවල්වල පවා බලය බෙදීම ඉතා විශිෂ්ට අයුරින් සිදුවූ බව එහි දී පෙන්වා දුන් අතර එම ක්‍රමවේදයන් මෙරට තුළ ද ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බව සඳහන් කර ඇත.
කෙසේවෙතත් එංගලන්තයේ හා ශ්‍රී ලංකාවේ දේශපාලන සමාජීය සංස්කෘතීන් සම්පූර්ණයෙන්ම වෙනස් බව එහි දී ටිරාන් අලස් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
මේ වන විට උතුරු ප්‍රදේශය පුරාවට මත්ද්‍රව්‍ය සහ අපරාධ සිදුවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවට දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, එවැනි කරුණු සම්බන්ධයෙන් පවතින තොරතුරු ඕනෑම අවස්ථාවක ඒ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂ පොලිස් කමිටුවට ලබා දෙන ලෙසය.