ලොතරැයි මණ්ඩලයේ පැවැත්මටත් තර්ජනයක් වූ ‘කොටු කැපීමේ’ සූදුව

Sri Lanka Economic Crisis Economy of Sri Lanka Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Aug 12, 2026 04:36 PM GMT
Report

ජාතික හා සංවර්ධන ලොතරැයි මණ්ඩලවල දිනුම් ඇදීමේ අංක පදනම් කරගනිමින් පවත්වාගෙන යන නීති විරෝධී සූදු ක්‍රීඩාවක් හේතුවෙන් සමාජය තුළ බරපතළ ව්‍යසනකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සිරිල් ඇන්තනි පෙරේරා මහතා පවසයි.

කෝප් (COPE) අනුකමිටුව හමුවට ලොතරැයි මණ්ඩල දෙකෙහි නිලධාරීන් කැඳවූ අවස්ථාවේදී සභාපතිවරයා මේ බව අනාවරණය කර තිබේ.

මත්ද්‍රව්‍ය භාවිතයට පමණක් දෙවැනි වන තරමට මෙම තත්ත්වය බරපතළ බව සඳහන් කළ සභාපතිවරයා, වසර හතරකට හෝ පහකට පමණ පෙර ගම්මානවල රුපියල් 100ක පමණ මුදලකින් ආරම්භ වූ ‘කොටු කැපීමේ’ සූදුව මේ වනවිට දැවැන්ත ජාවාරමක් බවට පත්ව ඇති බව පැවසීය.

ආදායම් ඉහළ ප්‍රදේශවල එක් කොටුවක් සඳහා ඔට්ටු මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.

මෙම සූදුවේදී 0 සිට 9 දක්වා සංඛ්‍යාවලින් අංක දෙකක් තෝරාගෙන, එදින නිකුත් කරන ලොතරැයියේ අවසාන අංක දෙක පදනම් කරගනිමින් ඔට්ටු අල්ලන බව අනාවරණය වී තිබේ.

ජාතික හා සංවර්ධන ලොතරැයි මණ්ඩලවල දිනුම් ඇදීම් රාත්‍රී 7.30ට පමණ සිදුකළද, මසකට අදාළ සියලු දිනුම් ඇදීම් එකවර සිදුකර දිනපතා ප්‍රතිඵල නිකුත් කරන බවට ව්‍යාජ තොරතුරු පතුරුවමින් WhatsApp සමූහ හරහා මෙම ජාවාරම සංවිධානාත්මකව පවත්වාගෙන යන බවද සභාපතිවරයා පෙන්වා දී තිබේ.

ප්‍රදේශයේ ආර්ථික ක්‍රියාකාරකම් අනුව ඔට්ටු මුදල් වෙනස් වන අතර, මනම්පිටිය වැනි වී අස්වැන්න නෙළන ප්‍රදේශවල එක් කොටුවකට රුපියල් 30,000ක් දක්වාත්, රත්නපුර වැනි මැණික් කර්මාන්තය ආශ්‍රිත ප්‍රදේශවල රුපියල් ලක්ෂය ඉක්මවූ මුදල්ද ඔට්ටු ලෙස තබන බව සඳහන් වේ.

මෙම සූදුවට ඇබ්බැහි වීම හේතුවෙන් බොහෝ පුද්ගලයන්ට ඉඩම් සහ දේපොළ අහිමිව ඇති බවත්, සැමියන් මෙම සූදුවට ඇබ්බැහි වීමෙන් පීඩාවට පත්වූ කාන්තාවන්ගෙන්ද නිරන්තරයෙන් පැමිණිලි ලැබෙන බවත් සභාපතිවරයා පැවසීය.

මෙම ජාවාරම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා, රාජ්‍ය බුද්ධි සේවය සහ මධ්‍යම දූෂණ අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිලි කර තිබුණද, මෙතෙක් ප්‍රමාණවත් පියවරක් ගෙන නොමැති බවද ඔහු සඳහන් කළේය. 

ජාතික ලොතරැයි පනත යටතේ ලොතරැයි මණ්ඩලයට නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ නීත්‍යානුකූල ලොතරැයි දිනුම් ඇදීම් සම්බන්ධයෙන් පමණක් බවත්, ඒ හේතුවෙන් මුදල් අමාත්‍යාංශයේ සෘජු සහාය නොමැතිව මෙම නීති විරෝධී සූදුවට එරෙහිව නීතිමය පියවර ගැනීම අපහසු බවත් සභාපතිවරයා අවධාරණය කළේය.

මෙම නීති විරෝධී සූදුව තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ලොතරැයි මණ්ඩලවල ව්‍යාපාරික පැවැත්මට මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලටද බරපතළ බලපෑමක් එල්ල විය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.