බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයේ මහ මොළකරු සහ එය මෙහෙයවූ අය ගැන තොරතුරු රැසක් එළියට.
පසුගියදා 22 වැනිදා බෙලිඅත්තේදී අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
එම ඝාතනය මෙරටදී සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ කලක් සේවය කළ මේජර් නිශාන්ත ඩයස් නමැති පුද්ගලයෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශය පවසන්නේ.
නිශාන්ත ඩයස් නමැති මෙම පුද්ගලයා යුද හමුදාවේ සිටියදී විෂමාචාර ක්‍රියා රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ඉන් නෙරපූ අයෙකු බවත්, වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කළ විශ්‍රාමික නාවික හමුදා සෙබළා වූ 45 හැවිරිදි අජිත් ඉන්ද්‍රසිරි, ඝාතනය සිදුකර දින 7කට පසු ඩුබායි රාජ්‍ය වෙත පළාගොස් ඇති හෙළි වී තිබෙනවා.
වෙඩි තැබීමට පැමිණි ජීප් රථය සහ එක් වෙඩික්කරුවෙකු වෙඩි තැබීම සිදුවූ දිනම කඹුරුපිටිය ප්‍රදේශයේ සැරිසරන ආකාරයද පොලිසිය CCTV දර්ශන ඔස්සේ තහවුරු කර ගැනුණා.
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු මීට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන අතරතුරයි සිද්ධියට සම්බන්ධ මහමොළකාරිය සහ ප්‍රධාන වෙඩික්කරු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පෙරේදා රාත්‍රියේ වේයන්ගොඩ පල්ලෙවෙල ප්‍රදේශයේ නිවසක් වටළා බෙලිඅත්ත ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වූ ගංගා නිරෝෂිනි නමැති 39 හැවිරිදි කාන්තාවක් ඇයගේ පියා ද සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා.
එහිදී එම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි නායකයෙකු වන කොස්ගොඩ සුජීගේ අනුදැනුම මත ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින හරේන්ද්‍ර ගුණතිලක හෙවත් බූස්සේ හර්ෂ නමැති පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බවයි.