ඩයනා ගේ ඉල්ලීම ගැන අගවිනිසුරුගෙන් විශේෂ ප්‍රකාශයක්..!

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Politician Sri Lanka Diana Gamage
By Sewvandhi Nov 15, 2023 08:58 AM GMT
Report

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අද (15) විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කළේ, තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් නම් කරන ලෙස ඇය ගේ නීතිඥවරුන් විසින් කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරියේ දී සුදුසු තීරණයක් ප්‍රකාශයට පත්කරන බවය.

අග විනිසුරුවරයා මෙම නියෝගය ප්‍රකාශයට පත් ක‍ර ඇත්තේ, සිය පෙත්සම පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස ඉල්ලමින් ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.

මෙම ඉල්ලීම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනක් ද සිල්වා සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ සලකා බැලිණි.

එහි දී කරුණු දක්වමින් දේශපාලන පක්ෂවල සාමාජිකයන් ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු රාශියක් ප්‍රකාශයට පත්කර තිබෙන බව ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙන්වා දී තිබේ.

ජනාධිපති නීතිඥවරයා ඉල්ලා ඇත්තේ, තම සේවාදායිකාව නෙරපීමට පෙර ඇයට සාධාරණ විනය පරීක්ෂණයක් ලබාදීමට වගඋත්තරකරුවන් කටයුතු කර නොමැති බවත් එබැවින් මෙය මහජන වැදගත්කමක් සහිත නඩුකරයක් සේ සලකා අදාළ පෙත්සම පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බැලීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.