ඩෙංගු මරණ සංඛ්‍යාව 59 දක්වා ඉහළට
ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවට අනුව, අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබේ.
එම වාර්තාවට අනුව, මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,114ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊයේ (23) වන විට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 79,016ක් සහ මරණ සංඛ්‍යාව 57ක් ලෙස සටහන් විය.
කෙසේ වෙතත්, අද වන විට ඩෙංගු මරණ අනුපාතය සියයට 0.07ක් ලෙස දැක්වේ. වාර්තාවට අනුව, ජූනි මාසයේදී ඩෙංගු රෝගීන් 21,534ක් සහ ජූලි මාසයේදී රෝගීන් 24,739ක් වාර්තා වී ඇති අතර, එම මාස දෙක තුළ රෝගීන් වාර්තා වීමේ සැලකිය යුතු ඉහළ යාමක් දක්නට ලැබේ.
2026 වසරේ 29 වන සතිය වන විට ඩෙංගු අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) බලප්‍රදේශ සංඛ්‍යාව 175ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2,391ක් ලෙස සටහන් වේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත අනුව, සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.
එම පළාතෙන් රෝගීන් 42,414ක් වාර්තා වී ඇති අතර එය සමස්ත රෝගීන්ගෙන් සියයට 52.94කි. මීට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 12,154ක් (15.17%) සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 6,837ක් (8.53%) වාර්තා වී තිබේ.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ පහත පරිදිය.
ගම්පහ දිස්ත්‍රික්කය – 16,950 (21.16%)
කොළඹ දිස්ත්‍රික්කය – 16,021 (20.00%)
මාතර දිස්ත්‍රික්කය – 5,534 (6.91%)
මහනුවර දිස්ත්‍රික්කය – 5,437 (6.73%)
කළුතර දිස්ත්‍රික්කය – 5,245 (6.55%)
රත්නපුර දිස්ත්‍රික්කය – 4,482 (5.59%)
ගාල්ල දිස්ත්‍රික්කය – 4,430 (5.53%)
පළාත් අනුව ඩෙංගු රෝගීන් වාර්තා වීම:
බස්නාහිර – 42,414 (52.94%)
දකුණ – 12,154 (15.17%)
මධ්‍යම – 6,837 (8.53%)
සබරගමුව – 6,661 (8.31%)
වයඹ – 3,875 (4.84%)
නැගෙනහිර – 3,438 (4.29%)
ඌව – 2,154 (2.69%)
උතුරු මැද – 1,408 (1.76%)
උතුර – 1,173 (1.46%)
පවතින වර්ෂාපතනයත් සමඟ මදුරුවන් බෝවන ස්ථාන ඉහළ යාම ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.
ඒ අනුව, අවට පරිශ්‍ර පිරිසිදුව තබා ගැනීමට කටයුතු කරන ලෙසත්, උණ තත්ත්වයක් පවතී නම් ප්‍රමාදයකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.