අංක තහඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය ගැන දින 45කින් සම්පූර්ණ වාර්තාවක්

Driving Licence Department of Motor Vehicles Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 03, 2026 08:03 AM GMT
Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අංක තහඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයට බලපා ඇති කරුණු පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදු කර, ඒ සම්බන්ධ සම්පූර්ණ වාර්තාවක් දින 45ක් තුළ ඉදිරිපත් කරන ලෙස යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති කාරක සභා රැස්වීමකදී මෙම උපදෙස් ලබා දී ඇත.

අංක තහඩු නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් කරුණු විමසූ කාරක සභාව, එම ප්‍රමාදය ආරම්භ වූ ආකාරය, ඊට බලපෑ පරිපාලනමය හා තාක්ෂණික කරුණු මෙන්ම අදාළ ටෙන්ඩර් සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව සවිස්තරාත්මක විමර්ශනයක් සිදු කරන ලෙස දැනුම් දී තිබේ.

මේ අතර, 2026 මාර්තු 10 වැනිදායින් පසු ලියාපදිංචි කළ වාහන සඳහා දින 14ක් ඇතුළත අංක තහඩු ලබාදීම ආරම්භ කර ඇති බව නිලධාරීහු කාරක සභාව හමුවේ සඳහන් කළහ.

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර, මේ වන විට මුද්‍රණය සඳහා පවතින රියදුරු බලපත්‍ර සංඛ්‍යාව 678,000ක් පමණ වන බව නිලධාරීහු පැවසූහ.

දෛනික මුද්‍රණ ධාරිතාව බලපත්‍ර 4,600ක් පමණක් වීම හේතුවෙන් පවතින පසුබෑම තවදුරටත් ඉහළ යන බව ද ඔවුහු පෙන්වා දුන්හ. මෙම තත්ත්වය කඩිනමින් විසඳීම සඳහා ඔක්තෝබර් 15 වැනිදා වන විට නව මුද්‍රණ යන්ත්‍ර දෙකක් ස්ථාපනය කර දෛනික මුද්‍රණ ධාරිතාව බලපත්‍ර 8,200ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව ද සඳහන් කෙරිණි.

මහජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා දෙපාර්තමේන්තුවේ අවශ්‍ය උපකරණ සහ තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළේය. එමෙන්ම, ඉදිරියේදී මෙවැනි ප්‍රමාදයන් ඇති නොවීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද උපදෙස් ලබා දී තිබේ.

දෙපාර්තමේන්තුවේ පරිපාලන කාර්යක්ෂමතාව, පවතින පුරප්පාඩු, ප්‍රසම්පාදන කටයුතු කඩිනම් කිරීම සහ මහජන සේවා සැපයීමේදී සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන් වැළැක්වීම පිළිබඳව ද කාරක සභාව කරුණු විමසා ඇත.

සූර්ය බලශක්තිය සහ බැටරි ගබඩා පද්ධති ගැනත් අවධානය

මේ අතර, බලශක්ති අමාත්‍යාංශය සහ අදාළ ආයතන සමඟ පැවති සාකච්ඡාවේදී වහල මත සවිකරන සූර්ය බලශක්ති පද්ධති සහ උපපොළ ආශ්‍රිත බැටරි බලශක්ති ගබඩා පද්ධතිවල වත්මන් තත්ත්වය පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

සූර්ය බලශක්ති උත්පාදනයේ වෙනස්වීම් හේතුවෙන් විදුලිබල ජාලයේ ස්ථාවරත්වය සහ සංඛ්‍යාත පාලනය සම්බන්ධයෙන් මතුවන තාක්ෂණික අභියෝග පිළිබඳව එහිදී අවධානය යොමු විය.

විශේෂයෙන්ම දහවල් කාලයේ විදුලි ඉල්ලුම අඩුවීම හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රතිවිරුද්ධ විදුලි බල ගලායෑම් (Reverse Power Flow) කළමනාකරණය සඳහා බැටරි බලශක්ති ගබඩා පද්ධති භාවිත කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡා වී ඇත.

පාරිභෝගික මට්ටමින් විදුලි පරිභෝජනය සහ උත්පාදනය කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා ස්මාර්ට් මීටර් ලක්ෂ 4ක් පමණ ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති අතර, ඒකක 180කට වැඩි විදුලි පරිභෝජනයක් සහිත පාරිභෝගිකයන්ට ඒ සඳහා ප්‍රමුඛතාව ලබාදීමට නියමිත බව ද සඳහන් විය.

කොළඹ සහ කෝට්ටේ වැනි ප්‍රදේශවල බෙදාහැරීමේ ට්‍රාන්ස්ෆෝමර් ධාරිතා සීමා හේතුවෙන් සූර්ය බලශක්ති පද්ධති පුළුල් කිරීමේදී පවතින බාධා මඟහරවා ගැනීම සඳහා ට්‍රාන්ස්ෆෝමර් මට්ටමින් කුඩා බැටරි පද්ධති ස්ථාපනය කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

බැටරි පද්ධති සඳහා පවතින බදු ප්‍රතිපත්තිය යටතේ මෙගාවොට් එකකට වඩා වැඩි පද්ධති සඳහා ආනයනික බදු සහන ලබාදී ඇති නමුත්, ගෘහස්ථ සහ කුඩා ව්‍යාපාරික මට්ටමේ පද්ධති සඳහා ඉහළ බදු පවතින බව ද සාකච්ඡාවේදී අනාවරණය විය.

එබැවින් කුඩා පරිමාණ බැටරි පද්ධති සඳහා ද බදු සහන ලබාදීම හෝ බදු අඩු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කෙරිණි. තවද, බැටරි තාක්ෂණය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සහ කාර්මික විද්‍යාල මට්ටමින් පුහුණු පාඨමාලා හඳුන්වාදීමේ අවශ්‍යතාව ද සාකච්ඡා වී තිබේ.

විදුලිබල අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇතුළු ආයතන අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කර පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීමේ අවශ්‍යතාව ද එහිදී අවධාරණය කර ඇත. පාරිභෝගිකයන්ට සහන සැලසීම සඳහා විදුලිබල පිරිවැය අවම කරගැනීමට සූර්ය, සුළං සහ ජල විදුලිය වැනි අඩු පිරිවැයක් සහිත විදුලි උත්පාදන ක්‍රම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද සාකච්ඡාවේදී සඳහන් විය.