දයාසිරිට ලැබුණු අලුත්ම අධිකරණ නියෝගය..!
අද (22) කොළඹ දිසා අධිකරණය විසින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් සාරති දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම වළක්වාලමින් එම පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා වෙත නිකුත් කළ වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කළේය.
මෙම නියෝග නිකුත් කෙරුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ එහි වැඩබලන මහලේකම් සාරති දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද යළි කැඳවීමෙන් අනතුරුවය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම වාරණ නියෝගයට අදාළව වගඋත්තරකරුවන් විරෝධතා ඉදිරිපත් කරන්නේ නම් එය ලබන 29 වනදා කැඳවන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව අදාළ විරෝධතා ගොනුකිරීමට වගඋත්තරකරුවන්ට අවසර ලබා දුන් අධිකරණය අනතුරුව පෙත්සම ලබන 29 වනදා කැඳවීමටද නියම කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබූ තීරණයකට අනුව එහි මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ දයාසිරි ජයසේකර මහතා එම තනතුරින් ඉවත් කළ බවයි, පෙත්සම්කරු කියා සිටින්නේ.
ඉන් පසුව එම ධුරයේ වැඩ බැලීම සඳහා සාරති දුෂ්මන්ත මිත්‍රපාල මහතා පත් කළ බවත් පැමිණිල්ලේ සඳහන් වේ.
එමෙන්ම ඉන්පසුව, දයාසිරි ජයසේකර මහතාට එරෙහිව චෝදනා පත්‍රයක් නිකුත් කොට කරුණු විමසීමට කටයුතු කර ඇති බවත් එහි සඳහන් වේ.
එසේ තිබියදී දයාසිරි ජයසේකර මහතා විසින් වැඩ බලන ලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ කටයුතුවලට බාධාවන ආකාරයෙන් සාවද්‍ය නිර්දේශ මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කොට තිබේ.
ඒ අනුව මේ ආකාරයේ නීති විරෝධී කටයුතුවල නිරත වීම වළක්වාලමින් දයාසිරි ජයසේකර මහතා වෙත තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Sponsored By Sarrita Jewellery