“මුරසු” සුළි කුණාටුවෙන් මුහුද කැළඹෙයි

Weather Cyclone Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Nov 03, 2026 04:57 AM GMT
Report

බෙංගාල බොක්කේ බටහිර-මධ්‍යම ප්‍රදේශයේ පවතින “මුරසු” නම් ප්‍රබල සුළි කුණාටුව හේතුවෙන් ගැඹුරු මුහුදු ප්‍රදේශ කිහිපයකට යාමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු අඟවා තිබේ.

ඒ අනුව, උතුරු අක්ෂාංශ 10°ත් 17°ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80°ත් 85°ත් අතර පිහිටි ගැඹුරු මුහුදු ප්‍රදේශ වෙත නැවත දැනුම් දෙන තුරු ගමන් නොකරන ලෙස උපදෙස් ලබාදී ඇත.

දැනටමත් එම මුහුදු ප්‍රදේශවල රැඳී සිටින ධීවර හා නාවික පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙස ද දැනුම් දී තිබේ.

මීට අමතරව, මන්නාරම සිට කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා විහිදෙන ගැඹුරු මුහුදු ප්‍රදේශ වෙත ද නැවත දැනුම් දෙන තුරු ගමන් කිරීමෙන් වළකින ලෙස වෙනම අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි, අද (නොවැම්බර් 03) අලුයම 2.30 වන විට “මුරසු” සුළි කුණාටුව උතුරු අක්ෂාංශ 15.3° සහ නැගෙනහිර දේශාංශ 80.3° ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුණි.

එය වයඹ දෙසට ගමන් කරමින් අද දිනයේදී ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර, ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

නිරිත දෙසින් හෝ දකුණින් හමන සුළං පැයට කිලෝමීටර් 25ත් 35ත් අතර වේගයකින් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, මන්නාරම සහ කන්කසන්තුරේ හරහා හලාවත සිට ත්‍රිකුණාමලය දක්වා වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40ත් 45ත් දක්වා ඉහළ යා හැකිය. 

එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි අතර, දිවයින වටා අනෙකුත් මුහුදු ප්‍රදේශ සාමාන්‍ය තත්ත්වයේ පවතිනු ඇතැයි පුරෝකථනය කර තිබේ. එමෙන්ම, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වේගයකින් ප්‍රබල සුළං හමා යා හැකි බවත්, එම අවස්ථාවලදී මුහුද ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනතුරු අඟවයි.

ඒ අනුව, ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි කාලගුණ නිවේදන සහ ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙසත් ඉල්ලා සිටියි.