දැඩි ලෙස විමසිලිමත්වන්න..සුළි කුණාටුව ගැන අලුත්ම නිවේදනයක්..!

Climate Change TN Weather West Bengal Weather
By Sewvandhi Dec 03, 2023 12:10 PM GMT
Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, 'මිජවුම්' සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් වයඹ දෙසට ගමන්කරනු ඇති බවයි.

එය උතුරු තමිල්නාඩුව දෙසට ගොස් පසුව උතුරු දෙසට ගමන්කර දෙසැම්බර් 05 වනදා දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ඉන්දියාවට ඇතුළු වනු ඇති බවය, එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ, නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින 'මිජවුම්' සුළි කුණාටුව අද පෙරවරු 11.30ට යාපනයේ සිට කිලෝමීටර් 320ක පමණ දුරින් පැවති බවයි.

එසේම ඉදිරි පැය 48 ඇතුළත මන්නාරම කන්කසන්තුරය ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සිදුකිරීමෙන් වැළකී සිටින ලෙසටයි, අද පෙරවරුවේ නිකුත් කළ රතු නිවේදනයක් මගින් දැනුම්දෙනු ලැබුවේ.

දැඩි ලෙස විමසිලිමත්වන්න..සුළි කුණාටුව ගැන අලුත්ම නිවේදනයක්..! | Cyclone Mijawum

මේ අතර ඉදිරි පැය 36 සඳහා වන කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවය. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි තත්ත්වයක් ද ඇතිවිය හැකිය.

එම නිවේදනයට අනුව සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසුව තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දැක්වෙයි. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකිය .

තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි, එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.