ගෝලීය සමුළුවට භූතානයට ගිය අගමැතිනියගෙන් ලංකාවේ අධ්‍යාපනයට ලොකු සහනයක්
ශ්‍රී ලංකාව සහ භූතානය අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.
2026 සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (GCFSS) සහභාගී වීම සඳහා භූතානයේ සංචාරයක නිරත අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ භූතානයේ අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍ය යීසාං දේ තාපා මහතා අතර මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාව ඊයේ (03) පැවැත්විණි.
අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව යන ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව පුළුල් කිරීම සහ නව සහයෝගීතා අවස්ථා හඳුනා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වී තිබේ.
එමෙන්ම, අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රවල සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුමක් (MoU) සකස් කර අත්සන් කිරීම සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය එකඟතාව පළ කර ඇත.
එම අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා ලේකම් මට්ටමින් ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් ස්ථාපිත කිරීමටද එකඟ වී තිබේ. එම කමිටුව වාර්ෂිකව රැස්වී සහයෝගීතා වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කිරීමට නියමිතය.
විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම, සිසුන් හා අධ්‍යයන කාර්ය මණ්ඩල හුවමාරු වැඩසටහන්, ඒකාබද්ධ පර්යේෂණ සහ අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා වී තිබේ.
ගුරුවරුන් සහ අධ්‍යාපනඥයින් සඳහා පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම මෙන්ම අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රවල විශේෂඥ දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇත.
මේ අතර, භූතාන සිසුන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථා ලබාදීම පිළිබඳවද සාකච්ඡා කර ඇති අතර, දන්ත වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ භෞත චිකිත්සාව ඇතුළු සෞඛ්‍ය විද්‍යා ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු වී තිබේ.
දරුවන්ගේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවය තහවුරු කිරීම, දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ සිසුන් අතර සදාචාරාත්මක වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන තිබේ.