ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට - ඉන්ධන මිල සංශෝධනය ගැන අවධානය

Crude Oil Prices Today Fuel Price In World Latest Headlines Sinhala news Crude Oil
By R.rishma Jul 31, 2026 05:13 AM GMT
Report

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (31) සුළු වශයෙන් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 1.71කින් පහළ ගොස් ඇමෙරිකානු ඩොලර් 82.16ක් ලෙස සටහන් වී තිබේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිලද සියයට 1.16කින් අඩුවී ඇති අතර, එහි නව මිල ඇමෙරිකානු ඩොලර් 88ක් ලෙස දැක්වේ.

එමෙන්ම, මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 2.60කින් පහළ ගොස් ඇති අතර, එහි මිල ඇමෙරිකානු ඩොලර් 85.71ක් ලෙස සටහන් වී ඇත.

මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුව මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද (31) සිදුකිරීමට නියමිතව තිබේ.

කෙසේ වෙතත්, සංස්ථාව මේ වන විට ලබා ඇති ලාභ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉන්ධන මිල සංශෝධනයක් සිදුකිරීමේ සූදානමක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කර ඇත.

රජයේ මුදල් පිළිබඳ කාරකසභාවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ, ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි පවතින අවිනිශ්චිතතාව හේතුවෙන් ඉන්ධන මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බවයි.

එහිදී කාරකසභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින් ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල වැඩි කිරීම සීමාසහිතව සිදුකළ බවයි.

ඔහු පෙන්වා දුන්නේ, ජූලි මාසයේ ආනයනය කළ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක ගොඩබෑමේ පිරිවැය රුපියල් 269.76ක් වූ අතර, සැකසුම් පිරිවැය, අනෙකුත් පිරිවැය, මෙහෙයුම් පාඩු, ප්‍රවාහන වියදම්, බෙදාහරින්නන්ගේ ලාභ සහ බදු ඇතුළත් කිරීමෙන් පසු එහි සමස්ත පිරිවැය රුපියල් 429.83ක් වන බවයි.

එමෙන්ම, ගොඩබෑමේ පිරිවැය ගණනය කරනු ලබන්නේ අදාළ මාසයට පෙර පැමිණි ඉන්ධන තොගවල වටිනාකම අනුව බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.