පාපන්දු පිටියේ සුපිරි වැඩකරු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට තරග තහනමක්..!

Cristiano Ronaldo Football FIFA World Cup FIFA World Cup Qatar 2022
By Sewvandhi Nov 24, 2022 08:27 AM GMT
Report

ලෝක පාපන්දු පිටියේ ආන්දෝලනාත්මක පුවත් මවන සුපිරි තරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එක්වන සුපිරි පාපන්දු ගැටුම අද ඝානාවට එරෙහිව පැවැත්වීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් ලෝකෙම බලාසිටින තරගයට ඔන්න මෙන්න තිබියදී විදෙස් මාධ්‍ය වාර්තා කළ පුවතක් වෙත මේ වනවිට පාපන්දු ලෝකයේම අවධානය යොමුව ඇත.

මෙලෙස වාර්තාවන්නේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට එරෙහිව දේශීය පාපන්දු තරග 2ක තහනමක් පැනවීම පිළිබඳව පුවතකි. දේශීය තරගයක් අතරතුරදී පාපන්දු ප්‍රේක්ෂකයෙකුගේ ජංගම දුරකතනයට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියේ පැවැත්වෙන තරගවලට මෙම දේශීය තරග තහනම හරහා බාධාවක් එල්ල නොවේ. මීට පෙර අවස්ථා රැසකදීද රෝනාල්ඩෝට එරෙහිව පාපන්දු සම්මේලනයෙන් දඬුවම් නියමවිය.

ඉන් එක් අවස්ථාවකදී විනිසුරුවරයා තල්ලුකරදැමීමේ චෝදනාවකට ඔහුට තරග තහනමක් නියමකරනු ලැබිණි. එසේම මීට පෙර අවස්ථා කිහිපයකදීම නීතිවිරෝධී ගෝල සැමරුම් සම්බන්ධයෙන්ද මෙම පාපන්දු පිටියේ සුපිරි වැඩකරුට එරෙහිව දඬුවම් නියමවී ඇත.

මේ අතර පසුගියදා රොනාල්ඩෝ ගත් ආන්දෝලනාත්මක තීරණයක් පිළිබඳවද මේ වනවිට පාපන්දු ලෝකයේ දැඩි කතාබහක් නිර්මාණය කර ඇත. ඒ ඔහු මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම හැර යාමට තීරණය කිරීමේ පුවතයි.

ඇතැම් මාධ්‍ය මෙලෙස රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමෙන් ඉවත්වීමට හේතුව ලෙස දක්වා ඇත්තේ රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ කළමණාකාරීත්වය ප්‍රසිද්ධියේ විවේචනය කිරීමයි.

එහෙත් ඇතැම් මාධ්‍ය පවසන්නේ එය දෙපාර්ශවය අතර ඇතිවූ එකඟතාවයක් මත සිදුව ඇති බවය. සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ තරග වදින ඝානාව සහ පෘතුගාලය අතර තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.30ට ආරම්භවීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now