ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් දැඩි තීරණයක්..!

Cricket Australia Australia Cricket Team
By Sewvandhi Sep 15, 2023 07:57 AM GMT
Report

ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් ජාතික කණ්ඩායමේ සහ දේශීය කණ්ඩායම් සඳහා ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී තීරණයක් ගැනීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔක්තෝබර් 01 වනදා සිට එරට ක්‍රිකට් ක්‍රීඩකයින් පිතිකරණයේ යෙදෙන විට අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ආරක්‍ෂිත හිස් වැසුම් සඳහා ගෙල ආවරණ සවිකරගත යුතුය.

එරට බලධාරීන් පවසන්නේ, වේග පන්දු යවන්නන්ට සහ මද වේග පන්දු යවන්නන්ට මුහුණ දෙන විට පිතිකරුවන් එම ආරක්‍ෂිත උපාංගය සවිකර ගැනීම අනිවාර්යයෙන් කළ යුතු බවයි.

එනම්, 2015 වසරේදී ඔස්ට්‍රේලියාවේ සිටි සුපිරි තරුණ වමත් පිතිකරුවකු වූ පිලිප්ස් හියුස් පන්දුවක් ගෙලෙහි පිටුපස වැදීමෙන් ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව ආරක්ෂක හිස් වැසුමට ගෙල ආවරණයක් හඳුන්වා දීම සිදුකළේය.

නමුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටින ඩේවිඩ් වෝනර්, සහ ස්ටීව් ස්මිත් එය පැලඳගෙන පිතිකරණයේ යෙදීමට වැඩි කැමැත්තක් නොදක්වයි. එහෙත් නව රීතිය අනුව ගෙල ආරක්‍ෂිත උපාංගය සිය ආරක්‍ෂිත හිස් වැසුමට අනිවාර්යයයෙන් සවිකරගත යුතුය.