චාමිකගේ ලේ සාම්පල ඉල්ලූ පෙත්සම විසිවෙයි

Chamika Karunaratne Sports Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Aug 04, 2026 07:19 AM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න මහතාට පීතෘත්ව නඩුවක් සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පලයක් ලබා දෙන ලෙස නියෝගයක් ඉල්ලා ගොනු කළ අයදුම්පත කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

ගුවන් නියමුවරියක වන රසිකා සෙව්වන්දි විසින් ගොනු කර ඇති මෙම නඩුවේදී, තම දරුවාගේ පියා චාමික කරුණාරත්න බවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා ඇත.

නියෝගය ලබා දෙමින් අධිකරණය සඳහන් කළේ, DNA පරීක්ෂණයක් නියෝග කිරීම සාධාරණීකරණය කිරීමට ප්‍රමාණවත් හේතු ඉදිරිපත් කර නොමැති බැවින් අදාළ අයදුම්පත ප්‍රතික්ෂේප කරන බවයි.

කෙසේ වෙතත්, ප්‍රධාන නඩුවේ වැඩිදුර විභාගය සඳහා එය ඔක්තෝබර් 9 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කළේය.

පැමිණිලිකාරිය සිය පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ චාමික කරුණාරත්න තම දරුවාගේ පියා බවට අධිකරණය ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත්, ඒ අනුව ඔහු පියා ලෙස සඳහන් වන උප්පැන්න සහතිකයක් නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට නියෝග කරන ලෙසත්ය.

ඇයගේ ප්‍රකාශයට අනුව, 2023 වසරේදී තමන් සහ චාමික කරුණාරත්න අතර සමීප සම්බන්ධතාවයක් පැවති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස තමන් ගැබ්ගත් පසුව ඔහු පීතෘත්වය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ බව සඳහන් කර ඇත.

මේ අතර, චාමික කරුණාරත්න මහතා මීට පෙරද එම පීතෘත්ව චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, DNA පරීක්ෂණයකට භාජනය වීමටද විරෝධය පළ කර තිබේ.