පොලිස් ලොක්කෙක් ගැන විශේෂ උසාවි නියෝගයක්..!

Police spokesman Sri Lanka Police Law and Order Latest Headlines
By Sewvandhi Jul 26, 2024 01:55 PM GMT
Report

ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඩී.එස්.කේ. පුෂ්ප කුමාර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම විසින් ගනු ලැබූ තීරණය බලරහිත කරමින්නි යෝගයක් නිකුත් කර තිබේ.

අදාළ උසස් වීම අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකළ සහකාර පොලිස් අධිකාරිවරු 134 දෙනෙකුට නඩු ගාස්තු ගෙවන ලෙසත් වගඋත්තරකාර ඩී.එස්.කේ. පුෂ්ප කුමාර මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇත.

අර්ජුන ඔබේසේකර, යසන්ත කෝදාගොඩ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින්, සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ඒ. සෝමරත්න මහතා ඇතුළු සහකාර පොලිස් අධිකාරීවරු 134 දෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 06ක් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, 2020 වසරේ එවක වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නිර්දේශයක් මත ජාතික පොලිස් කොමිසම විසින් වගඋත්තරකාර ඩී. එස්. කේ. පුුෂ්පකුමාර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවය.

විශේෂ කුසලතා හා දස්කම් දැක්වූ නිලධාරීන්ට මේ ආකාරයේ විශේෂ උසස් වීම් ප්‍රදානය කිරීමට හැකියාවක් තිබුණ ද වග උත්තරකරුට ලබා දී තිබෙන මෙම උසස්වීම එම ගණයට අයත් නොවන බවයි, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල සඳහන් කළේ.

ඒ අනුව එවක වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නිර්දේශයක් අනුව ජාතික පොලිස් කොමිසම විසින් වග උත්තරකාර ඩී.එස්.කේ. පුෂ්ප කුමාර මහතා 2020 වසරේ ජුනි මස 09 වනදා සිට ජේෂ්ඨ පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බව ද විනිසුරු මඩුල්ල පවසා ඇත.

වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ ජාතික පොලිස් කොමිසම විසින් ගනු ලැබූ මෙම තීරණය තුළින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව තීන්දු කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒ අනුව අදාළ උසස්වීම බලරහිත කරන බවට නියෝග කළේය.