ඔරුගොඩවත්තේ කන්ටේනර් රථයක් පෙරළෙයි - දැඩි රථවාහන තදබදයක්
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත හන්දිය අසල අද (08) දහවල් කන්ටේනර් රථයක් පෙරළී යාම හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ අවිස්සාවේල්ල සිට පෑළියගොඩ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් ඔරුගොඩවත්ත හන්දියෙන් දකුණට හැරවීමේදී පාලනයෙන් ගිලිහී පෙරළී ගොස් ඇති බවයි.
අනතුර හේතුවෙන් දෙමටගොඩ සිට පෑළියගොඩ දක්වා දිවෙන මාර්ගයේ මංතීරු දෙකක් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර, රථවාහන තදබදය අවම කිරීම සඳහා පොලීසිය විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ අනුව, පෑළියගොඩ සිට දෙමටගොඩ දක්වා වන මංතීරුව දෙපසටම භාවිත කරමින් රථවාහන ගමනාගමනය සිදු කිරීමට කටයුතු යොදා ඇති බව පොලීසිය සඳහන් කළේය.
අවහිරතාව කඩිනමින් ඉවත් කර සාමාන්‍ය රථවාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බව ද පොලීසිය වැඩිදුරටත් දැනුම් දී ඇත.