ඓතිහාසික ගෑස් පහ හන්දිය අනාරක්ෂිත වෙයිද? ජනතාවගෙන් අනතුරු ඇඟවීමක්

Colombo Drugs Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Nov 09, 2026 11:05 AM GMT
Report

කොළඹ පිටකොටුවේ පිහිටි ඓතිහාසික හා ප්‍රසිද්ධ ගෑස් පහ හන්දිය ආශ්‍රිතව මත්ද්‍රව්‍ය භාවිතය ඇතුළු සමාජ විරෝධී ක්‍රියාකාරකම් සිදුවන බවට ප්‍රදේශවාසීන් සහ ව්‍යාපාරිකයන් දැඩි කනස්සල්ල පළ කරනවා.

විශේෂයෙන්ම ගෑස් පහ හන්දිය ආසන්නයේ පිහිටි පැරණි මාළු වෙළෙඳසල අසල ඇතැම් පුද්ගලයන් ප්‍රසිද්ධියේ මත්ද්‍රව්‍ය භාවිත කරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

කොළඹ නගරයේ දිනපතා විශාල ජනතාවක් ගැවසෙන සහ ගමන් කරන ප්‍රදේශයක් වන ගෑස් පහ හන්දිය හරහා කාන්තාවන්, පාසල් සිසුන් ඇතුළු විවිධ පිරිස් ගමන් කරන බැවින් මෙවැනි ක්‍රියාකාරකම් මහජනතාවට දැඩි අපහසුතාවක් වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද ගැටලු මතුව ඇති බවට ජනතාව සිය කනස්සල්ල පළ කරනවා.

එමෙන්ම මෙවැනි සිදුවීම් සමාජ මාධ්‍ය හෝ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වූ පසුව පමණක් බලධාරීන්ගේ අවධානය යොමුවීම ප්‍රමාණවත් නොවන බවද ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සහ ජනතාව පෙන්වා දෙනවා.

ඓතිහාසික වටිනාකමක් මෙන්ම වාණිජමය වැදගත්කමක්ද සහිත ගෑස් පහ හන්දිය ආශ්‍රිතව නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිසිය සහ අදාළ බලධාරීන් කඩිනමින් මැදිහත් විය යුතු බවට ප්‍රදේශවාසීන් ඉල්ලීමක් කරනවා.

විශේෂයෙන්ම නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සහ සංසරණය පාලනය කිරීම සඳහා අඛණ්ඩ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත්, මහජනතාවට බියකින් හා අපහසුතාවකින් තොරව ගමන් කළ හැකි ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කරන ලෙසත් ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.