ලියාපදිංචි නොකළ පැපවෙරීන් එන්නත අලෙවිය : CID විමර්ශනයක් ආරම්භ කරයි

CID - Sri Lanka Police Ministry of Health Sri Lanka Latest Headlines Medicines Sinhala news
By Shehan Jul 05, 2025 07:20 AM GMT
Report

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකර ‘බැගේජ්’ මගින් ශ්‍රී ලංකාවට ගෙන්වා, හෘද රෝග සැත්කම් සඳහා යොදා ගන්නා පැපවෙරීන් නමැති එන්නත වෙළෙඳපොළේ අලෙවි කරන බවට ලද පැමිණිල්ලකට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම විමර්ශනය යටතේ, මෙරට ප්‍රධාන පෙළේ ඖෂධහල් දෙකක උසස් නිලධාරින්ගෙන්, අදාළ ඖෂධ ගෙන්වීමට අදාළ ලියකියවිලි පසුගිය සිකුරාදා (ජුලි 04) දින CID නිලධාරින් විසින් පරීක්ෂා කරනු ලැබීය. එහිදී එම නිලධාරින් විසින් වාර්තා කිහිපයක් CID වෙත ඉදිරිපත් කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

එම ඖෂධහල් දෙකෙන් එකකට, මීට පෙර ලියාපදිංචි නොකළ ඖෂධ මෙරට තුළ අලෙවි කිරීම හේතුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව CID පවසයි. ජාතික සිවිල් බුද්ධි පෙරමුණ විසින් පැපවෙරීන් එන්නත ලියාපදිංචි නොකර අලෙවි කරන බවට CID වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

පැපවෙරීන් එන්නත රුපියල් 76,000කට වෙළෙඳපොළේ අලෙවි වන නමුත්, එය රුපියල් 321කට ලබාගත හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජයමුනි මෑතකදී අනාවරණය කළද, එම මුදලට එම එන්නත මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාගෙන නොමැත.

මේ අතර, දේශීය ඖෂධ නිෂ්පාදකයින්, ඖෂධ ආනයනකරුවන්, සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් සමඟ සිකුරාදා (ජුලි 04) පැවති සාකච්ඡාවකදී, පැපරින් එන්නත රුපියල් 321කට ලබාගත හැකි බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් ප්‍රකාශ කර ඇත.

එසේම, පැපවෙරීන් එන්නත ඇතුළු තවත් එන්නත් සහ ඖෂධ ඉන්දියාවේ සිට පැමිණෙන මගීන් විසින් ඔවුන්ගේ ගමන්මලුවල රැගෙන එන බවට තොරතුරු ලැබී ඇති බව ඖෂධ ආනයනකරුවන් මෙම සාකච්ඡාවේදී පෙන්වා දී ඇත.