චීනයෙන් ලංකාවට සතුටුදායක ආරංචියක්..

Dinesh Gunawardena Sri Lanka Government of China China China Ship In Sri Lanka
By Aruna Jul 14, 2023 01:10 AM GMT
Report

චීන ව්‍යවසායකයින් විශාල පිරිසක් ක්ෂේත්‍ර රැසක සිදුකළ හැකි ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ, සංචාරක හා හෝටල් කර්මාන්තය, මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකර්මය, ඖෂධ, ආහාර සැකසුම්, පුනර්ජනනීය බලශක්ති සහ විනෝදාස්වාද කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක ආයෝජන සඳහා විශාල විභවයක් පවතින බවයි.

සීමාසහිත දගුඕවෙන් කල්චර්(Daguowen Culture Co) හි සභාපති ස්හෑන්ග් කිව්හුවා (Zhang Qihua) පැවසුවේ, ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරුව හා ගෝලීය තිරසාර සංවර්ධන ප්‍රවර්ධනය සමඟ තමා කටයුතු කරන බවත් චීනයෙන් මිලියනයකට අධික සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇති බවත්ය.

ශ්‍රී ලංකාව වෙත චීන සංචාරකයින්ගේ පැමිණීම සම්බන්ධයෙන් දෙරටම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සඳහා කොනයිසන්ස් ඩි සිලෝන් (Connaissance De Ceylon) හි සභාපති චන්ද්‍රා වික්‍රමසිංහ සමඟ සමීපව කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

ස්හෙජිඈන්ග්(Zhejiang) ප්‍රසිද්ධ කාන්තා වාණිජ මණ්ඩලයේ සභාපතිනි ජින් මෙයි යැන්ග්( Jin Mei Yang) මහත්මිය ශ්‍රී ලංකාවේ කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන් සඳහා සහාය වීමට කැමැත්ත පළ කළා.

මානව සෞඛ්‍යය සඳහා මානව අක්මා සෛල සහ මැණික් ගල් අතර ඇති සබඳතාව පිළිබඳ ගවේෂණය කරනු ලබන වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමක් වන වුක්සින් ගෘප්(Wuxin Group) හි සභාපතිනි ක්සි යූයු(Xie Yueyu) මහත්මිය පැවසුවේ පිළිකා සුව කිරීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකාවේ ශාඛාවක් පිහිටුවීමට තමන් උනන්දු වන බවයි.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය