චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවමක්

Sri Lanka Magistrate Court Law and Order Sinhala news Chaminda Wijesiri Remand
By R.rishma Jul 28, 2026 06:09 AM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක සිර දඬුවමක් නියම කර තිබේ.

අයුතු අවහිරය සිදු කිරීම, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් චමින්ද විජේසිරි, ඔහුගේ රියදුරු බන්දුල රත්නායක සහ අමාත්‍ය ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලකට එරෙහිව ගොනු කර තිබූ නඩුව බදුල්ල මහාධිකරණයේදී විභාගයට ගැනිණි.

නඩුව විභාග කළ බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා විසින් චමින්ද විජේසිරි සහ රියදුරු බන්දුල රත්නායක චෝදනා හතරකටත්, පොලිස් නිලධාරී රසික කරුණාතිලක චෝදනා තුනකටත් වරදකරුවන් බවට තීරණය කළේය.

එම අවස්ථාවේදී රියදුරු බන්දුල රත්නායක මියගොස් ඇති බවද අධිකරණයේදී අනාවරණය විය.

මෙම සිද්ධියට මුල් වී ඇත්තේ 2019 පෙබරවාරි 10 වැනිදා හෝ ඊට ආසන්න දිනක බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී ඇති වූ බහින්බස් වීමකි. නඩු විභාගයේදී අනාවරණය වූයේ චමින්ද විජේසිරි ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී ඔවුන්ගේ ජීප් රථය පොලිස් ජීප් රථයක් ඉස්සර කිරීමත් සමඟ මෙම ගැටුම හටගෙන ඇති බවයි.

පැමිණිල්ල වැඩිදුරටත් සඳහන් කළේ, පොලිස් ජීප් රථයේ ගමන අවහිර කළ චමින්ද විජේසිරි ඇතුළු පිරිස එහි සිටි පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ බවයි.