චාමර සම්පත් සහ හිටපු ලේකම් ලබන මස 06 දක්වා යළි රිමාන්ඩ්
පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු අමාත්ය හා බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ හිටපු ලේකම් ලබන මස 06 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා අද (23) මෙම නියෝගය ලබා දුන්නේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.
චාමර සම්පත් දසනායක මහතා 2022 සැප්තැම්බර් 08 වැනිදා සිට 2024 සැප්තැම්බර් 23 වැනිදා දක්වා ප්රාථමික කර්මාන්ත රාජ්ය අමාත්යවරයා ලෙස කටයුතු කළ කාලසීමාවේදී, සමාගම් තුනකට පොස්පේට් ආනයනය කිරීම සඳහා නිසි ක්රමවේදයෙන් බැහැරව බලපත්ර ලබාදීම වෙනුවෙන් අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම නඩුවේ තුන්වැනි සැකකරු ලෙස චාමර සම්පත් දසනායක මහතා නම් කර ඇති බවද අල්ලස් කොමිසම අධිකරණයට දන්වා ඇත.
මෙම නඩුවේ තුන්වැනි සැකකරු ලෙස චාමර සම්පත් දසනායක මහතා නම් කර ඇති බවද අල්ලස් කොමිසම අධිකරණයට දන්වා ඇත.