විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි..! නව සභාපති ගැන ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්

Gotabaya Rajapaksa Sri Lanka Ceylon Electricity Board Kanchana Wijesekera
By Sewvandhi Jun 13, 2022 09:30 AM GMT
Report

විදුලිබල මණ්ඩලයේ සභාපති ෆර්ඩිනැන්ඩු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් එම ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගත් බවය.

මේ අතර විදුලිබල මණ්ඩලයේ නව සභාපති ධුරයට එහි හිටපු උප සභාපති නලින්ද ඉල්ලංගකෝන් මහතා පත්කර ඇති බවද එම සටහනේ වැඩිදුරටත් සටහන් කර ඇත.

පසුගිය දා කෝප් කමිටුව හමුවට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් කැඳවා තිබූ අවස්ථාවේ ඔහු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණා.

ඔහු එහි දී ප්‍රකාශ කළේ, ''ජනාධිපතිතුමා පසුගිය නොවැම්බර් 27 වැනිදා වගේ මාව ගෙන්වලා කිව්වා, මේ අදානි සමාගමට දෙන්න මේක. ඉන්දීය අගමැති මෝදි මට බලකරනවා මේක දෙන්න කියලා කියනවා කියලා. පස්සේ මම ඒ වෙලාවේ කිව්වා මේක මටවත් විදුලිබල මණ්ඩලයටවත් අයිති ප්‍රශ්නයක් නෙවෙයි. ආයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් කියලා.

ඒ හින්දා මම ලියුමක් ලියල දැම්මා මට මෙහෙම ජනාධිපතිතුමා නියෝග දෙනවා කියලා. මුදල් අමාත්‍යාංශ ලේකම් කිව්වා මේක ඔහෙන් කරගන්න. මේක විදුලිබල මණ්ඩලයට අයත් ප්‍රශ්නයක් නෙවෙයි කියලා.'' යනුවෙන්.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පසුව ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ කෝප් කමිටුවේ දී එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩු විසින් කරන ලද ප්‍රකාශය තමන් ප්‍රතික්ෂේප කරන බවයි.

අනතුරුව එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු නිවේදනයක් කරමින් කියා සිටියේ, තමන් විසින් කෝප් කමිටුවේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නාමය යෙදීම සම්බන්ධයෙන් පදනම් හා කොන්දේසි විරහිත ව සමාව අයදින බවත් හා අදාළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවයි.

එලෙස ම 'අගමැති'යන වචනය භාවිත වූයේ තමන් කෝප් කමිටුව හමුවේ දී සිදු කළ පැහැදිලි කිරීම් සමග තිබූ පීඩනය සහ හැඟීම් හේතුවෙන් බවයි ඔහු ප්‍රකාශ කළේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery