දිවයින පුරා ICT අධ්‍යාපනය ඉහළ නැංවීමට වසර 5ක ව්‍යාපෘතියක්
දිවයින පුරා පිහිටි තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථාන (ITDLH) සහ ද්විතීයික පාසල්වල පරිගණක පහසුකම් වර්ධනය කිරීම සඳහා වසර පහක විශේෂ ව්‍යාපෘතියක් මෙවර අයවැයට ඉදිරිපත් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (08) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
අගමැතිනිය මේ බව සඳහම් කළේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය,
"2026 වසරේදී කරපු විගණනයකින් 2014න් පස්සේ ගොඩක් ස්ථානවලට අලුතින් පරිගණක උපකරණ ලැබිලා නැති බව තහවුරු වුණා. දැනට තියෙන උපකරණවලින් බොහොමයක් අලුත්වැඩියා කරන්නවත් බැරි තත්ත්වයක තියෙන නිසා, ද්විතීයික පාසල්වලට මුල් තැන දෙමින් අලුතින් උපකරණ ලබාදීමේ අවුරුදු 5ක සැලසුමක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන ශාඛාව යටතේ ක්‍රියාත්මක වන ITDLH (Information Technology and Distance Learning Hubs) මධ්‍යස්ථාන 109ක් මුළු දිවයින පුරාම පිහිටලා තියෙනවා. මීට කලින් 'පරිගණක සම්පත් මධ්‍යස්ථාන' (CRC) ලෙස හැඳින්වුණු මේවා, 1997දී ජාතික අධ්‍යාපන ආයතනය නිකුත් කරපු මාර්ගෝපදේශ සහ අරමුණු පදනම් කරගෙන තවමත් ක්‍රියාත්මක වෙනවා.
මේ මධ්‍යස්ථාන මගින් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන්ට කෙටි කාලීන ICT පාඨමාලා පැවැත්වීම, පාසල් හැරගිය අයට NVQ පාඨමාලා පැවැත්වීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ගුරු පුහුණු ලබාදීම, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, රාජ්‍ය සේවකයින් සහ මහජනතාව සඳහා තොරතුරු තාක්ෂණ පුහුණු පැවැත්වීම වගේම Online විභාග සහ විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් යොමු කරන්න පහසුකම් සැලසීමත් සිද්ධ වෙනවා.
උතුරු පළාතේ කිලිනොච්චිය, උතුර, මන්නාරම, මුලතිව් වගේම නැගෙනහිර පළාතේ දෙහිඅත්තකණ්ඩිය, මහඔය, කන්තලේ, මඩකලපුව බස්නාහිර ඇතුළු ඇතැම් කලාපවල ITDLH මධ්‍යස්ථාන තවම නැහැ. ගුරුවරුන් විශ්‍රාම ගියාට පස්සේ නව ගුරුවරුන් අනුයුක්ත නොකිරීම, උපකරණ හිඟකම සහ ප්‍රමාණවත් සිසුන් සංඛ්‍යාවක් අයදුම් නොකිරීම නිසා මීට කලින් තිබුණු ඇතැම් CRC මධ්‍යස්ථාන වැසිලා ගිහින් තියෙනවා.
2024, 2025 සහ 2026 අවුරුදුවල නව ගොඩනැගිලි හදන්න ප්‍රතිපාදන වෙන් නොවුණු නිසා ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවෙන් ඊට අනුමැතිය හිමිවුණේ නැහැ. ඒ නිසා ඒ කලාපවල නව මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා නැවත වතාවක් ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව එක්ක සාකච්ඡා කරලා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කරන්න කටයුතු කරමින් ඉන්නවා.
වාර්ෂිකව අලුත්වැඩියා කටයුතු සඳහා මුදල් වෙන් කළත්, පවතින ප්‍රශ්නවලට ස්ථිර විසඳුමක් විදිහට තමයි මේ නව අවුරුදු පහේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ. ඒ අනුව අදාළ අනුමැතිය ලැබුණට පස්සේ, 2027 වසර වෙනකොට මේ මධ්‍යස්ථානවල සහ ද්විතීයික පාසල්වල තියෙන පහසුකම් අවශ්‍යතාවයෙන් අවම වශයෙන් 50%ක්වත් සම්පූර්ණ කරන්න සැලසුම් කර තිබෙනවා"