ලංවිමේ වත්කම් පෙබ්‍රවාරි 1ට පෙර නව සමාගම් 6කට

CEB Ceylon Electricity Board Economy of Sri Lanka Latest Headlines Sinhala news
By Shehan Jan 01, 2026 10:30 AM GMT
Report

ලංකා විදුලිබල මණ්ඩලය (ලවිම) ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ එළඹෙන පෙබරවාරි 01 වැනිදාට පෙර මණ්ඩලය සතු සියලුම වත්කම් නව සමාගම් හයකට පැවරීමේ කටයුතු අවසන් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාට ලිඛිතව මෙම නියෝගය ලබාදී ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරියේදී සමාගම් හයක් යටතේ ක්‍රියාත්මක වන අතර, දැනටමත මණ්ඩලය සතු වත්කම් ක්‍රමානුකූලව අදාළ සමාගම්වලට පැවරෙමින් පවතී. ඒ අනුගමනයෙන් කාර්යමණ්ඩලයද මෙම නව සමාගම්වලට යොමු කර ඇති බව සඳහන් වේ. 

නව සමාගම්වලට යොමු කිරීමට අකමැති සේවකයින්ට ස්වකීය විශ්‍රාම යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම ගැනීමේ අවස්ථාව ලබාදී ඇති අතර, ඒ අනුව සේවකයින් 2,173 දෙනෙකු විශ්‍රාම ගැනීම සඳහා ඉල්ලුම් කර තිබේ. ඔවුන්ට අදාළ වන්දි මුදල් ගෙවීම් පෙබරවාරි මාසයේ පළමු සතිය තුළ අවසන් කරන ලෙසද බලශක්ති අමාත්‍යාංශය විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇත.

මෙම ප්‍රතිව්‍යුහගතකරණය අවසානයේ ලංකා විදුලිබල මණ්ඩලය වශයෙන් ආයතනයක් ඈවර කරන අතර, ඉන්පසු එහි සියලුම කටයුතු නව සමාගම් හය යටතේ ඉදිරියට පවත්වාගෙන යෑමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

මෙම පියවර විදුලිබල ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ණය බර අඩුකිරීමට බලපානු ඇතැයි රජය අපේක්ෂා කරයි.