ඉටිපන්දම් මිලට හදිසියේ සිදුවූ දේ. පැකට්ටුව 100කින් වැඩි වෙයි..

Hatton Sri Lanka Business Power cut Candles
By Aruna Jan 25, 2022 01:33 AM GMT
Report

ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නො හැකි වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ඉටිපන්දම් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳුන් පවසනවා.

විශේෂයෙන් හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල මෙසේ ඉටි පන්දම් මිල ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

කුඩා ප්‍රමාණයේ ඉටි පන්දමක තොග මිල රු 7.50වන අතර , සමාන්‍ය ප්‍රමාණයේ ඉටි පන්දමක් රු 37.50කට තොග වෙළෙඳුන් විසින් අලෙවි කරනු ලබයි.

ඉටි පන්දම් පැකට්ටුවක ඉටි පන්දම් 40ක් ඇති බවත්, එය මාසයක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් 100කින් පමණ ඉහළ ගිය බවත් වෙළෙඳුන් කියා සිටිනවා.

ඉටි පන්දම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉටි චීනයෙන් ආනයනය නො කරන නිසා වෙළෙඳපොළේ ඉටි පන්දම් හිඟයක් පවතින බව යි වෙළෙඳුන් කියා සිටින්නේ.

මේ දිනවල පාරිභෝගිකයින්ගෙන් ඉටි පන්දම් සදහා විශාල ඉල්ලුමක් පවතින බව ද වෙළෙඳුන් සඳහන් කරනවා.

මේ දිනවල දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු වන අතර, මේ හේතුවෙන් ජන ජීවිතය බරපතළ ලෙස අභියෝගයකට ලක් වී තිබෙනවා.

විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ මහතා පුන පුනා විදුලිය නො කපන බව ප්‍රකාශ කළ ද, විදුලිය නැවත නැවතත් විසන්ධි වෙන්නේ, අමාත්‍යවරයාගේ මාධ්‍ය පුරසාරම් හාස්‍යයට ලක් වෙමින්.

ඊයේ (24) පැවති මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමින් ලොකුගේ අමාත්‍යවරයා පැවසුවේ, මෙය විසන්ධි කිරීමක් නො ව බිඳ වැටීමක් (බ්‍රේක් ඩවුන්) වන යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now