තාවකාලික පදනම මත ඉන්න අයට රතු එළියක් - අලුත්ම තීරණයක්..

Canada Latest Headlines
By Sewvandhi Mar 22, 2024 12:34 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ, තාවකාලික පදනම මත තම රට තුළ ජීවත් වන පිරිස අඩු කිරීමට කැනඩාව තීරණය කර ඇති බවයි.

එසේම තාවකාලිකව කැනඩාවේ පදිංචිව සඳහා පැමිණෙන පිරිස ඉතිහාසයේ පළමු වතාවට සීමා කිරීමට එරට රජය සැලසුම් කර තිබේ.

එළැඹෙන වසර තුන ඇතුළත සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට කටයුතු කරන බවත් එහි පළමු සීමා කිරීම සැප්තැම්බර් මාසයේ දී ආරම්භ කරන බවත්, ඊයේ (21) කැනඩාවේ සංක්‍රමණික කටයුතු පිළිබඳ අමාත්‍ය මාක් මිලර් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ නිවාස හිඟයට පිළියමක් ලෙස සහ අත්‍යවශ්‍ය සේවා සැපයීමේදී මතුව ඇති ගැටලු සමනය කර ගැනීමටත් බව සඳහන් ය.

විශේෂයෙන්ම සමහර ප්‍රාන්ත වල ජනගහණය වැඩිවීම හේතුවෙන් සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල දැඩි අර්බුද මතුව ඇති බව වාර්තා වෙයි. 2023 වසර වනවිට කැනඩාව තුළ තාවකාලික පදනම මත මිලියන 2.5ක පිරිසක් ජීවත් වෙමින් සිට ඇති අතර ඉන් 20%ක් පමණ අඩු කිරීමට බලධාරීන් සැලසුම් කරයි.

ඔහු පවසා ඇත්තේ, එම සීමා කිරීම් ජාත්‍යන්තර සිසුන්ට සහ විදෙස් සේවකයින්ට මෙන්ම සරණාගතයින්ට ද අදාළ බවයි.

 ඔහු පවසා තිබෙන්නේ, පසුගිය වසර කිහිපය ඇතුළත සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාවේ කැපීපෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණ බවත් එබැවින් කැනඩාවට පැමිණෙන තාවකාලික පදිංචිකරුවන්ගේ තිරසාර අභිවෘද්ධියක් සහතික කිරීම සඳහා මෙම පියවර ගන්නා බවත්ය.

මේ වන විට කැනඩාවේ පවතින ශ්‍රමක හිඟය පිරවීම තාවකාලික විදේශ ශ්‍රමිකයින්ගේ මත රඳා පවතින නමුත් එහි වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.